Thursday, April 21, 2016


සැපක්‌ ලෙස වංචනිකව පෙනී සිටින දුක හඳුනා ගැනීම ජයකි


පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි

කෙනෙක්‌ "ලෙඩ වෙන්න එපා, මහලු වෙන්න එපා, මැරෙන්න එපා" කියලා ප්‍රාර්ථනා කරනවා නම් එයා පළඟැටියා ගේ මට්‌ටමේ. එයා මේ දුක ටික ටික ඉවත් වෙන්න, ඉවත් වෙන්න සතුටක්‌ හැටියට නේ දැක්‌කේ. දැන් යථාර්ථය පහන් දැල්ල නො වෙයි, දුකයි කියලා දැක්‌කා නම්, පහන් දැල්ල ටික ටික ඈතට යන්න යන්න සැපයි කියල නේ දැක්‌කේ. එහෙනම් දැන් ලෝකයා, "ජරා මරණ දුකයි" කියලා කෑගහන හැම තැනක දී ම එයාට සතුටයි එන්නේ. එයා එකින් එක නිදහස්‌ වෙනවා කියලයි පෙනෙන්නේ. ලෝකයා අ`ඩයි "දරුවා මැරුණා, පුතා මැරුණා, අම්මා මළා, සහෝදරයා මළා" කියලා. ලෝකයා අ`ඩන්නෙ ඇයි? ලෝකයා කැමැති වුණේ මේ දේවල් ළඟට ගත්තොත් සැපයි, ඈතට ගියොත් දුකයි කියල නේ. ලෝකයා දුකයි කියලා අ`ඩන අරමුණ ආර්යයන් වහන්සේලාට පෙනෙන්නේ මොකක්‌ ද? සැපක්‌ විදියට. ඒකයි මරණය රහතන් වහන්සේලාට නිවන වෙන්නේ. ඒක දුකෙන් නිදහස්‌ වන තැන වෙනවා. අපට දුක එන මරණය, රහතන් වහන්සේලාට සම්පූර්ණයෙන් ම දුකෙන් මිදීම වෙනවා.

ඉතිං මට මෙතැන දී පොඩ්ඩක්‌ මතක්‌ කරන්න වුණේ, අපි අහලා තියනවා චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන මයි සසරින් අපට කවදා ම හරි දවසක මිදෙන්න වෙන්නේ කියලා. අපි ජීවිතයේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නේ කොහොම ද කියලා දන්නේ නෑ. අපි ඒ වෙනුවට වචන ටිකක්‌ විතරයි දන්නේ.

"ඉපදෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා" කියලා "දුකට හේතුව තණ්‌හාව" කියලා. නමුත් හොඳට දැනගන්න චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන මයි කියලා කිව්වේ, අපේ ජීවිතයේ අපි දුක දකින්න ඕන. ජීවිතය කියන කොට, තමා ගේ ඉදලා,

"අඡ්Cධත්තංවා බහිද්ධාවා අඡ්Cධත්ත බහිද්ධාවා" - මේ හැම තැනක ම තියන දේ දුක හැටියට දකින්නේ ඇයි? කුමක්‌ නිසා ද? යම් තැනක ඉපදීමේ ලක්‌ෂණ තියනවා නම්, දිරීමේ ලක්‌ෂණයක්‌ තියනවා නම්, නැසීමේ ලක්‌ෂණයක්‌ තියෙනවා නම්, මේ නිසා ම දුකයි. මේකයි දුක.

එතකොට ලෝකයා, දකින දේවල් එයා හිතන්නේ දුක හැටියටයි. ඊට පස්‌සේ ඒ දේවල් ලැබීම ලෝකයා සැපයි කියලා දකින දේ තුළ ම එයා දැකලා තියන්නේ දුක හැටියටයි. ඒ දුක්‌ වූ දේ තුළ ම එයා දැකලා තියන්නේ දුක හැටියටයි. ඒ දුක්‌ වූ දේ තුළ ලැබීම ලෝකයා සැප හැටියට දකින කොට, නො ලැබීම දුක හැටියට දකින කොට, ආර්යයන් වහන්සේලා නො ලැබීම සැපක්‌ හැටියට දකිනවා. ඒ නිසා ලෝකයා දරුවා කියලා දකින තැන රහතන් වහන්සේලා දුක හැටියට දකින්නෙ. දරුව ගේ නො ලැබීම ලෝකයාට දුකක්‌ වෙනකොට, දුකේ නො ලැබීමයි, රහතන් වහන්සේලාට පෙනිලා තියන්නේ. දරුවා ගේ නො ලැබීම නො වෙයි. රහතන්වහන්සේ අ`ඩන්නේ නැත්තේ ඇත්ත දැක්‌ක නිසා. මෙයා දරුවා හැටියට දැකලා මෙහෙම බැඳෙනකොට රහතන්වහන්සේ ඇත්ත දැකලා, මිදිලා කියන තැනක්‌ තමයි තියන්නේ.

ඉතින් කවදා හරි දවසක මෙන්න මේ ඇත්ත අවබෝධ කරගෙන තමයි සසරින් මිදෙන්න ඕන. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක්‌ ලෝකයේ පහළ නො වුණොත්, කිසි ම දවසක මේ සත්‍ය හතර එළියට එන්නේ නැහැ.

කිසි ම දවසක ඔය සත්‍ය හතර පළඟැටියා ගේ මට්‌ටමට - "ඔය පහන් දැල්ල දුකයි. පහන් දැල්ල ළඟට ඒම දුකේ ඇති වීමයි, පහන් දැල්ල ඈතට යැමෙන් දුක නැති වෙනවා" කියලා, කියලා දෙන්න පුළුවන් ද අපිට? කවදා වත් කියලා දෙන්න බැහැ. එයාට කියලා දෙන්න පුළුවන් වෙන්නේ එයත් මනුෂ්‍යයකු වුණොත් විතර මයි. මනුෂ්‍යයකු වෙන මට්‌ටමට බුද්ධෝත්පාද කාලයක්‌ ලෝකයේ නැති වුණොත්? කවුද කියලා දෙන්නේ? කියලා දෙන්න කෙනෙක්‌ නැහැ. ඒ නිසයි මනුෂ්‍යයෙක්‌ වෙන්නත් ඕන, බුද්ධෝත්පාද කාලයක්‌ වෙන්නත් ඕන, කළ්‍යාණ මිත්‍ර ඇසුරක්‌ තියන්නත් ඕන කියලා තියන්නේ. තේරුම් ගන්න පුළුවන් මනස ඇති වෙන්නෙ මනුෂ්‍යයකු වෙච්ච තැන තමයි. එහෙම මනුෂ්‍යයෙක්‌ වුණ තැනත් හැම දාම මේ ඇත්ත හොයාගෙන අවබෝධ කරගෙන, කියන අය නැහැ. ලෝකේ ඒ නිසයි මේ බුද්ධෝත්පාද කාලය දුර්ලභයි කියලා කියන්නේ.

හැම දාම අපි මේ මායාකාර මහා දරුණු, රළු, කර්කෂ මායාකරුවකු ගේ මායාවකට අහුවෙලා වගේ මේ ඉන්නේ. අපිට මේක දුක හැටියට පෙනෙන්නේ නැහැ. මොන තරම් අසරණ කරල ද කියලා බලන්න අර පළඟැටියාව. දුක දුක හැටියට පෙනෙන්නේ නැති ව දීප්තිමත් ලස්‌සන ආලෝක ධාරාවක්‌ හැටියට, ලස්‌සන පහන් දැල්ලක්‌ හැටියටයි පෙනී හිටින්නේ එයාට. දුක, දුක හැටියට පෙනී හිටියා නම් කවදා වත් දුකේ බඳවන්න බැහැ එයාව. පහන් දැල්ලක්‌ හැටියට පෙනී ඉඳලා මයි මේ දුක බඳවලා තියන්නේ. අන්තිමට පහන් දැල්ලක්‌ හැටියට පෙනී ඉඳලා දුකෙන් මිඳෙන්න නො දෙන නිසා-ඒකට කියනවා මාරයා කියලා-අපට දුක, දුක හැටියට පෙනී හිටින්නේ නැහැ.

දරුවකු හැටියට, මුණුපුරෙක්‌, ගෙයක්‌ දොරක්‌, රත්තරන්, රිදී, මුතු මැණික්‌, යාන වාහන, ඉඩ කඩම් හැටියටයි පෙනී හිටින්නේ. එහෙම පෙනී ඉ`දලයි අපිව මේ දුකේ ම බඳවලා දුකෙන් මිදෙන්න දීලා නැත්තේ. ඒ හින්දයි බුදුරජාණන් වහන්සේ "රාධ, රූපය මාරයා, වේදනා මාරයා, සංඥ මාරයා, සංඛාරය මාරයා, විඤ්ඤාණය මාරයා" කියලා කියන්නේ. මේ ස්‌කන්ධ ටිකට අපි මාරයා කියන්නේ ඇයි? එයා එක එක ස්‌වරූපයන්ගෙන් පෙනී ඉඳලා අපට සසර ජරා මරණ දුකෙන් මිදෙන්න නො දී, ජරා මරණ දුකට බඳවලා තියනවා.

එයාව අල්ලන්න පුළුවන් තැනින් අල්ලනවා. කෙනෙක්‌ දරුවන්ට කැමැති නෑ. නමුත් ඉඩකඩම්වලට කැමැතියි. දැන් එයාව එතනින් අල්ලගන්නවා. කෙනෙක්‌ ඒ මොකකට වත් කැමැති නෑ. මුතු මැණික්‌වලට කැමැතියි. එක එක්‌කෙනා එක එක දේවල්වලටයි කැමැති. එක එක ආකාරයට පෙනී ඉඳලා කොතනින් හරි අල්ලාගෙනයි තියන්නෙ. දක්‌ෂ ව වැඩේ කරලා තියනවා මිදෙන්න තියා හොයන්න වත් බැරි විදිහට.

ඉතින් දැන් එක දෙයක්‌ තමයි තේරුම් කරලා දෙන්න ඕනෑකම තියන්නේ - චතුරාර්ය සත්‍යය කියන එක. ඔය අපි ජාතිපි දුක්‌ඛා, ජරාපි දුක්‌ඛා කියලා කටපාඩම් කරන පෙළ වත්, "දුකට කියන හේතු තණ්‌හාවයි" කියන පෙළ වත් නො වෙයි. අපි ඒකේ සැබෑ ම අර්ථය යම් දවසක ජීවිතයෙන් දකින්න ඕන. ඒ දැක්‌ක යුතු, දකින මට්‌ටම තමයි මා කිව්වේ කවදා හරි මෙන්න මෙහෙම දැකිය යුතුයි කියලා.

දැන් ඔය ටික කිව්වා කියලා අපි කියමු කෝ පහන් දැල්ල දිහා බලාගෙන ඉන්න පළඟැටියකුට. එයා ගොඩක්‌ කල් ඇසුරු කරලා මේ පහන් දැල්ල. අර හතර ම කියා දීලා පහන් දැල්ල ලැබීම දුකයි, නො ලැබීම මයි සැප කියලා කියන්න වුණා නම්, මම කියලා ඉවර වෙන කොටම පළඟැටියා ගේ අදහස වෙනස්‌ වන්නේ නැහැ. එයාට සංයෝජන කියන්නේ තාම දැක්‌ම තියන්නේ පහනෙ මයි. පහන ලැබුණොත් හොඳයි කියන තැනක ඉන්න පළඟැටියාටයි මම මේ ටික කියන්නේ. දැන් එයාට මේ ටික ගැන දැනුමක්‌ ආවා විතරයි. තවම එයා ගේ ජීවිතය තියෙන්නේ කොතැන ද, පරණ අදහසේ මයි. දැන් එයා උත්සාහවත් වෙන්නේ අපි කියපු තැන ඉලක්‌ක කරගෙන එතැනට එන්න. ඒකට වෙහෙස වන්නට ඕන.

දැන් මාර්ගයක්‌ තියනවා. ඒ හින්දා වෙන දා වගේ එහේ මෙහේ දුවන්නේ නැති ව කය සංවර කරගන්න කියලා පළඟැටියාට කියනවා. දැන් ඌට අපිට සීල, සමාධි, ප්‍රඥව, හික්‌මවන්න දෙන්න වෙනවා. කරන්න පුළුවන් ද? මා මේ උපමාවයි කියන්නේ තේරුම්ගන්න. පහන් දැල්ල සැපයි, ඒක ලැබීම සැපයි, කියන පළඟැටියාටයි- හොඳට මතක තියාගන්න - ඒ පළඟැටියාටයි අපිට කියන්න ඕන වුණේ, මේක පහන් දැල්ල නො වෙයි "දුකයි" මේකෙ ලැබීම සැප නො වෙයි දුකයි. මේ පහන් දැල්ලට කියන්නේ දුක - ඕක දුක නම් ඒ දුකේ ලැබීමේ සතුටක්‌ වෙන්නේ නැහැ. දුකකුයි වෙන්නේ කියන කාරණාව කියන්න වුණේ අර අදහසේ ඉන්න කෙනාටයි. ඒ නිසා අප කියාපු ගමන් ම එයා ගේ අදහස වෙනස්‌ වෙන්නේ නැහැ. ඒත් එයා ඉන්න තැනට තව අලුතෙන් දර්ශනයක්‌ එකතු වුණා, දැනුමක්‌ ආවා. දැක්‌මක්‌ ආවා.

දැන් තමන් ඉන්න මානසික මට්‌ටම වළකලා අපෙන් දැනගන්ත දේ ජීවිතය කරගන්න එයාට කරගන්න වැඩක්‌ තියෙනවා. ඒකට තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය, සීල, සමාධි, ප්‍රඥ තියලා කියන්නේ.

ඒ වගේ මේ යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩකඩම්, මිල මුදල් කියලා දකින මේ දේවල ලැබීම සැපක්‌ හැටියට, නො ලැබිම දුකක්‌ හැටියට දකින අපිටයි බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍යය දේශනා කරන්නේ. ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම් මේවා තිබ්බොත් දුකයි, මේ දේවල් ලැබීම තමා දුකේ ලැබීම, මේ දේවලින් නිදහස්‌ වුණොත් තමයි දුකෙන් නිදහස්‌ වන්නේ" කියන වචනය කියන්න වෙන්නේ නිකං කෙනකුට නොවෙයි අර ලෝකය තුළ අදහස තියෙන අපටයි. ඉතින් මේ චවන ටික ඇහුවා කියලා අපි වෙනස්‌ වෙලා නැහැ.

No comments:

Post a Comment