Friday, April 22, 2016


ලෝක ධර්මතාව හඳුනාගැනීමෙන් ලැබෙන දහම් සුවය


පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි

ධර්මය දන්න කෙනෙක්‌, දිරන දේ දිරනවා කියන තැනකින් නුවණ තියනවා. ඔහු මේ "ධර්මතාව" දකිනවා මිසක මා මහලු වෙනවා, තව කෙනෙක්‌ මහලු වෙනවා" කියලා නො වෙයි දකින්නේ. එයා ලෝකයේ ස්‌වභාවය, දහම අත්විඳිනවා. ලෙඩ වෙනවා කියන්නේ මේකට නේ, දුකයි කියන්නේ, අනිත්‍යයි කියන්නේ මේකට නේ.

කෙනෙක්‌ මැරුණා: දරුවා මැරුණා, අම්මා මැරුණා, තාත්තා මැරුණා කියන තැනින් නො වෙයි, එයාට එන්නේ. "මරණය කියන එක ධර්මතාවක්‌. අන්න ඒ ධර්මතාව මම අවබෝධ කරගත්තා නේ ද? කියන තැනින් සතුටයි එන්නේ. මේ ලෙඩ වීම, මහලු බව, මරණය, නැසෙන බව, විනාශ වන බව යන ධර්මතා ටික දහම අවබෝධ කරගත් කෙනාට හම්බවෙන්න, හම්බවෙන්න, සතුටක්‌ එනවා. ඇයි ඒ සතුටක්‌ එන්නේ? මොකක්‌ ද සතුට? "අනේ මේක මොන තරම් ඇත්තක්‌ ද?" එයා එතන "දහම් සුවයක්‌" විඳිනවා. හැම වේලාවෙ ම එයා තමන් ව දකින්නේ නැහැ. තමන්ට වෙච්ච අවාසියක්‌ දකින්නේ නැහැ. අනුන්ව දකින්නෙත් නැහැ. තමන්ට වේච්ච අලාභයකින් වත්, අනුන්ට වෙච්ච අලාභයකින් වත් එයා දුක්‌ විඳින්නේ නැහැ. තමන්, අනුන් සහ ලාභ. අලාභ යන දෙකෙන් ම එයා අත්මිදිලා. හැම වෙලාවක ම එයා ධර්මතාවක්‌ අත්විඳිනවා.

ඊට පස්‌සේ "දිට්‌ඨධම්ම සුඛ විහරණයක්‌" ( මෙලොව දී ම ධර්මයෙන් යුක්‌ත සැපයක්‌ විඳිනවා එයා. එතැන දී මට මතක්‌ කරන්න ඕන වුණේ සත්‍යය අවබෝaධ වෙච්ච මනසක සහ අවබෝධ නො වෙච්ච මනසක ඇති වෙනස.

ඒ ධර්මය අපේ ජීවිතය අපි අවබෝධ කරගන්න, ඒ කියන්නේ යට යන ගල, "උඩ පා වේ වා" කියලා ප්‍රාර්ථනා කරන මනසට, අපි කිව්වොත් "ලෝකය" කියලා, ඒ වචනය කියන්න පුළුවන් අපේ මට්‌ටමට විතරක්‌ නො වෙයි - දෙවියන්ටත් කිව හැකියි ඒක. බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන්ටත් කිව හැකියි. බ්‍රහ්මයාත් කැමැති නෑ එතනින් චුත වෙන්න. නමුත් එයා එතැනින් චුත වෙනවා. එයා එයින් දුකක්‌, දොම්නසක්‌ විඳිනවා. එයා එතැනින් පිටත් වෙන දවසක්‌ යෙදෙනවා. රූපී බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයා වත් කැමැති නෑ ඒ බ්‍රහ්ම ආත්මයෙන් අයින් වෙන්න. අපි මෙතන මැරෙන්න කැමැති නෑ, වගෙයි.

ඒ නිසා මේ තිස්‌ එක්‌ තලය ම නැත්නම්, කාම භව, රූප භව, අරූප භව කියන මේ තුන් භවය ම, නැත්නම් මේ තුන් ලෝකය ම ධර්මය නො දන්නවා කියන තැනකයි ඉන්නේ. එතකොට ධර්මය දන්නවා කියන තැනින් එන්නේ මොකක්‌ ද? කොහෙන් ද පටන්ගන්නේ? අපරියාපන්න භූමි - නැත්නම් ලෝකෝත්තර, මේ ලෝකයෙන් එතෙර වන පැත්ත. ඒ තමයි යට යන ගල, "යට යනවා" කියන තැනක ඉඳගෙන, මනස තියාගෙන සිතීම්, කීම්, කිරීම් කිරීම. ඒකේ නැහැ බලාපොරොත්තුවක්‌. මා දැනගත්තත් නැතත් ප්‍රාර්ථනා කළත් නො කළත් යට යන ගල, යට යනවා මයි. එයා දන්නවා ඒක. ඒකට විරුද්ධ ව ප්‍රාර්ථනා කළොත් දුක එනවා කියන එකත් එයා දන්නවා. ඒකට අනුව ප්‍රාර්ථනා කළහම සැප එනවා කියලත් දන්නවා. හැබැයි මේ සැපයි දුකයි දෙක ම සිද්ධිය නො වෙයි. යථාර්ථය නො වෙයි. යථාර්ථයට අනුව වැරැදියට හිතපු කෙනාට දුක එනවා කියලා දන්නවා. යථාර්ථයට අනුව නිවැරැදි ව හිතපු කෙනාට සැප එනවා කියලා දන්නවා.

එතකොට මෙන්න මේ දැක්‌මට එන්න පුළුවන්කම තියන්නේ හැම විට ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් කෙනකුට විතරයි. යට යන ගල "උඩ පා වේ වා" කියලා ප්‍රාර්ථනා කරන එක්‌කෙනා තමයි, දුක්‌ඛ-සමුදය-නිරෝධ-මාර්ග කියන චතුරාර්ය සත්‍යය අවබෝධ නො කළ කෙනා.

යට යන ගල "උඩ පා වේ වා" කියලා ප්‍රාර්ථනා නොකරන එක ම කෙනා තමයි, දුක්‌ඛ-සමුදය-නිරෝධ-මාර්ග කියන චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් කෙනා.

ඒ ඇත්තෝ යට යන ගල "යට යනවා" කියලා දන්නවා( එය උඩ පා වේ වා" කියලා ප්‍රාර්ථනා කරලා දුක්‌ වෙන්නේ නැහැ. කවුද ඒ( දුක්‌ඛ-සමුදය- නිරෝධ-මාර්ග කියන මේ හතර අවබෝධ කරගත් කෙනා.

ඔන්න ඔය සත්‍ය හතරේ අවබෝධය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ, මේ උතුම් ධර්මය අවබෝධ කර නො ගෙන අවුරුදු සීයක්‌ වුණත් හිස්‌ ජීවිතයක්‌( අවබෝධ කරගෙන එක්‌ දවසක්‌ ජීවත් වුණත් වටිනවා කියලා.

මේ ධර්මතා හතර හැම දා ම අපේ ජීවිතවල පවතින ඇත්තක්‌. ඒත් අපි දන්නේ නැහැ. ඔන්න ඔය ධර්මතා හතර අප තුළ හැම දා ම පවතින, ලෝකය තුළ හැම දා ම පවතින, එහෙත් ලෝකයට නො පෙනෙන ඇත්ත. ඔය ඇත්ත හතර පහදලා දෙන්නයි බුදුහාමුදුරුවෝ ලොව පහළ වුණේ.

මං දැන් ඒක මතක්‌ කරනවා ටිකක්‌. අවබෝධයේ පහසුව සඳහා මම හැම දේශනාවකින් ම එක්‌ පර්යායකින්, මේ එක ක්‍රමයකින් චතුරාර්ය සත්‍යය පොඩ්ඩක්‌ මතක්‌ කරනවා. ඒක අපට තේරුම් කරගන්න පහසුව සඳහා. හැබැයි මෙතැන දි අපි ටිකක්‌ දක්‌ෂ වෙන්න ඕනෙ මේ පෙන්නන්න හදන කාරණාව ගැඹුරුයි. මේ දහම, ස්‌වභාවයෙන් ම ටිකක්‌ ගැඹුරුයි, ඒකයි මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට හේතු තියන එක පුද්ගලයෙක්‌ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ සමහර විට යොදුන් ගානක්‌ පයින් වඩින්නේ. එක්‌ පුද්ගලයෙක්‌ වෙනුවෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ අනෙක්‌ අයට කරුණාව නැද්ද? එක්‌කෙනකුට විතර ද කරුණාව? නැහැ. මේක තේරුම් ගන්න හැකියාව තියෙන්න ඕන. නැත්නම් අහන පමණකින් ඔක්‌කොට ම තේරෙනවා නම් ලෝකයේ කෙළවරකින් පටන් අරගෙන අනෙක්‌ කෙළවර දක්‌වා ම දේශනා කර කර ගිය හැකියි බුදුරජාණන් වහන්සේට. මොකද, බුදුරජාණන් වහන්සේට තමන් ගේ රාහුල කුමාරයාත් අපත් අතර එහෙම වෙනසක්‌ නෑ. කව්රුත් එකයි නේ ද?

එහෙනම් මේ දහම ස්‌වභාවයෙන්ම ටිකක්‌ ගැඹුරුයි. එතකොට, ගැඹුරු දහමක්‌ වුණත් අර්ථය පෙනෙන්න අර්ථය ලිහිල් කරන්න පුළුවන් ප්‍රමාණයක්‌ තියනවා. ඕනවට වඩා අර්ථය ලිහිල් කරලා, ලිහිල් කරලා, එතනින් එහාට ලිහිල් කරන්න බැහැ. මෝඩ අපේ මනසට තේරෙන මට්‌ටමට දහමක අර්ථය ලිහිල් කරලා, අර්ථය ලිහිල් කරන්න පුළුවන් වුණොත් ඒක මෝඩ දහමක්‌ වේ වි. ඇයි? ඉතින් අපි මෝඩ නම් අපේ මට්‌ටමට තේරෙන්න අඩු කරන්න පුළුවන් නම් ඒක මෝඩ දහමක්‌ වෙලා නැද්ද? පේනවා නේද? පේනවා. එහෙනම් දහමේ අර්ථය ලිහන්න පුළුවන් එක්‌තරා සීමාවක්‌ තියනවා. එතැනට ලිහලත් නො තේරුණහම ඊට පස්‌සේ දහමේ අර්ථය ඊට වඩා ලිහන්න බැහැ. ඒක එතැනින් නතර කරන්න වෙනවා. ඒ දේ ගන්න පුළුවන් මට්‌ටමට ඔරොත්තු දෙන්න අපිව හදාගන්න වෙනවා. ඒකයි දහම දේශනා කළහම තේරුණේ නැත්නම් ඊගාවට සීලයක පිහිටල නීවරණ ධර්ම දුරුකරගන්න කියන්නේ. එතැන දී අපිව හදාගෙන මේ ටිකට ඔරොත්තු දී ගන්න වෙනවා. නැත්නම් අපි ඉන්න අපේ මෝඩ නීවරණ සහගත මට්‌ටම අඩු කරලා පෙන්නන්න බැහැ. එහෙම පෙන්නන්ඩ වුණොත්, ඒක ද අප ආපහු ඉන්න තැන ම මගේ ම දර්ශනයක්‌ වුණා මිසක විශේෂයක්‌ හම්බ වෙන්නේ නැහැ. මොකද ඒ තුළ ද එතකොට හම්බවෙන්නේ අර මෝඩ දහමක්‌ නිසා.


No comments:

Post a Comment