Wednesday, April 20, 2016


09අභිධර්ම පිටකය බුද්ධ දේශනාවක්‌ නොවේද?


කේ. විජිතනන්ද හිමි,
නිග්‍රෝධාරාම සේනාසනය, පොල්පිටිය උතුර, මැටිකුඹුර, පොල්ගහවෙල.

අභිධර්මය කියන්නෙ බුද්ධ ඥනයට විෂය වුණ අති සියුම් පරම ගම්භීර ස්‌කන්ධ, ආයතන, ධාතු, ඉන්ද්‍රිය, චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය, චිත්ත, චෛතසික ධර්ම, මාර්ග ඵල, නිර්වාණ ආදී ධර්මයන් මාතෘකා වශයෙන් විභාගකොට වදාළ විශිෂ්ට පරමාර්ථ ධර්මය. මේ පරම ගම්භීර පරමාර්ථ ධර්මයන් ස්‌වයංභූ ඥනයෙන් තත්ත්වාකාරයෙන් අවබෝධ කරගෙන දේශනා කරන්න සමත් වෙන්නෙ, අති දීර්ඝ කාලයක්‌ පූර්ණ කළ මහා පාරමිතා බලයෙන් ලැබූ සර්වඥතා ඥනය තියෙන ලොව්තුරා බුදුන්වහන්සේලාට මිසක්‌ ලෝකයේ වෙන කිසිම ශාස්‌තෘවරයකුට බැහැ. තථාගතයන් වහන්සේ නමක්‌ ලෝකයට පහලවීමෙන් ඒ පරම සත්‍යය මතු කර දුන්නට පස්‌සෙ, ශ්‍රාවකයන්ට තම තමන්ගෙ ප්‍රඥවේ ප්‍රමාණයට වටහා ගන්න පුළුවන්. සූත්‍ර පිටකයේ තියෙන කරුණුවලින් බොහොමයක්‌ම අභිධර්ම පිටකයේ තියෙනවා. නමුත් ඒ මාතෘකා දේශනාවන් වැඩිපුර බෙදල විස්‌තර කරල නෑ. බුද්ධ වචනය පිළිබඳ පූර්ණ සියුම් දැනුමක්‌ ලබාගන්න පුළුවන් වෙන්නෙ අභිධර්මයේ බෙදල දක්‌වා තියෙන කරුණු අවබෝධ කර ගැනීමෙන්. තථාගතයන් වහන්සේ ඇසළ පුර පසළොස්‌වක පොහොය දිනකදී තීර්ථකයන්ගෙ මානය දුරු කරන්න සැවැත්නුවර ගණ්‌ඩබ්බ රුක මුලදී යමක මහා ප්‍රාතිහාර්ය පාල, අතීත බුදුපියාණන් වහන්සේලාගෙ චාරිත්‍රයට අනුව බුද්ධත්වයෙන් හත්වැනි වස ගත කරන්න තව්තිසා දෙව් ලොවට වැඩියා. එතැන පරසතු රුක්‌ මුල පණ්‌ඩුකම්බල ශෛලාසනයේ වැඩ හිඳල තමන්ගෙ මෑණියන් විදිහට දෙව්ලොව ඉපදිලා හිටපු මාතෘ දිව්‍ය රාජයා මූලික කරගෙන, දස දහසක්‌ සක්‌වල දෙව් බඹුන්ට කුසලා ධම්මා, අකුසලා ධම්මා. අඛ්‍යාකතා ධම්මා... ආදී වශයෙන් මාස තුනකින් දේශනය නිම කරන්න පුළුවන් ප්‍රමණයට හකුළුවා අභිධර්මය දේශනා කළා.

දෙව් ලොව අභිධර්මය දේශනා කරන තථාගතයන් වහන්සේ, දේශනය නොනැවතී පැවැතීම සඳහා ඒ ධර්මාසනය මත බුදුරුවක්‌ මව ඒ බුදුරුව මෙතෙක්‌ ධර්ම දේශනා කෙරේවායි අධිෂ්ඨාන කරල, පිණ්‌ඩපාතයේ වැඩීම... ආදී කටයුතු සඳහා දිනපතා මනුස්‌ස ලෝකයට වැඩම කළා. මේ කාරණය සමහර දෙවිවරු දැන ගත්තා. සමහර දෙවිවරු දැන ගෙන සිටිහේ නැහැ. මනුස්‌ස ලෝකයට වඩින තථාගතයන් වහන්සෙ උතුරුකුරු දිවයිනෙන් පිඬුසිඟා අරගෙන අනවතත්ථ විල්තෙරට වැඩල පැන් පහසුවෙලා (ස්‌නානය කරල), දන් වළ¹, දිවා විහරණයට සඳුන් වනයට වැඩියා. දම් සෙනෙවි සැරියුත් මහරහතන් වහන්සේ දිනපතා තථාගතයන් වහන්සේ බැහැ දකින්න එතැනට වැඩම කරනවා. බුදුන්වහන්සේ ඒ ඒ දිනවල දෙවියන්ට දේaශනා කළ අභිධර්මය, මෙගොඩ ඉඳන් අත දිගු කරල මහ සයුර පෙනන්වනව වගේ ඉතා කෙටි වචන ස්‌වල්පයකින් මාතෘකාව දේශනා කරනවා.

සිවුපිළිසිඹියාපත් සැරියුත් මහරහතන් වහන්සේට ඉතා කෙටියෙන් දේශනා කරපු ඒ ධර්මය, න්‍යායන් සියයෙන්, න්‍යයායන් දහසින්, න්‍යායන් දස දහසින් අවබෝධ කරගන්න සමත්වෙනවා. උන්වහන්සේ තථාගතයන් වහන්සේගෙන් අහගත්තු මාතෘකා දේශනය භික්‌ෂුන්ට ඉගෙනීමට, දැරීමට ප්‍රමාණවත් වන ආකාරයෙන් විස්‌තර කරල ඒ ඒ දිනවලදී අතවැසි භික්‌ෂුන් 500 කට දේශනා කළා. තථාගතයන් වහන්සේ මාස 3 කින් අභිධර්ම දේශනය අවසන් කරනකොට ඒ භික්‌ෂුන් 500 දෙනාම, අභිධර්මිකයෝ බවට පත්වුණා. එතකොට අද පවතින අභිධර්ම පිටකය කියන්නේ සැරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළ ඒ අභිධර්මය. (අභිධම්ම වාචනා මග්ගො සාරිපුත්ත ථෙරෝ පභවෝ) ඒක තථාගතයන් වහන්සේගෙන් ලැබූ න්‍යායන් අනුව දේශනා කළ එකක්‌ නිසා බුද්ධ දේශනයක්‌ හැටියටම පිළිගන්නවා.

සියලු මහ බෝසත්වරුන්ගේ බුදු වන අත්බැවේ මෑණියන්, බෝසත් කුමරු ඉපදිලා දින හතකින් කලුරිය කරල තව්තිසා දෙව් ලොව ඉපදීම ධර්මතාවක්‌. හැම බුදුවරයෙක්‌ම තමන්ගේ මෑණියන් වන ඒ දෙව්පුත් මුල් කරගෙන අනෙකුත් දෙව් බඹුන්ට අභිධර්මය දේශනා කිරීමත් ධර්මතාවක්‌. මේ නිසා සූත්‍ර පිටකයෙන් පවා සනාථවෙන අභිධර්මය, බුද්ධ දේශනාවක්‌ නොවෙයි කියල, පසුකාලීනව සකස්‌ කරගත්ත එකක්‌ය කියල සමහරු ප්‍රකාශ කළත්, ඒක හේතු යුක්‌ති නැති ප්‍රලාපයක්‌ විතරයි. මේ වගේ අති සූක්‍ෂම චිත්ත චෛතිසක විග්‍රහයක්‌ කරන්න ලොව්තුරා බුදුවරයකුට හැර වෙන කෙනෙක්‌ මේ මිහිපිට ඉන්න විදිහක්‌ නෑ. තථාගතයන් වහන්සේ සර්වඥවරයෙක්‌ කියල ඔප්පු කරන්න තියෙන හොඳම සාක්‌ෂිය තමයි පරම ගම්භීර අභිධර්ම දේශනාව.

අභිධර්මයේ සියුම් විග්‍රහයන් හැමෝටම අවබෝධ කරගන්න බෑ. ඒක ගෝචර වෙන්නෙ ප්‍රඥ අධික උතුමන්ට. බුදුන්වහන්සේ ජීවමාන කාලයේ කොච්චර මහ රහතන් වහන්සේලා වැඩ හිටියත්, අභිධර්මය තථාගතයන් වහන්සේගෙන් අහල දැනගන්න සාරිපුත්ත මහ රහතන්වහනසේම වැඩියෙ, ප්‍රඥවන්ත භික්‌ෂුන් අතරින් උන්වහන්සේ අග්‍ර වූ නිසා. සැරියුත් මහ රහතන් වහන්සේ ඇසුරේ හිටපු අතවැසි භික්‌ෂුන් වහන්සේලාත් ප්‍රඥවන්තයෝ. ඒ නිසාම තථාගතයන් වහන්සේගෙන් අහගත් අභිධර්ම මාතෘකාව (උද්දේශය) විස්‌තර කරමින් සැරියුත් මහරහතන් වහන්සේ ඒ භික්‌ෂුන්ටත් දේශනා කළා.

ඈත අතීතයේ ධර්ම සංගායනා යුගයේ පටන් අද දක්‌වාම, අභිධර්මය බුද්ධ දේශනාවක්‌ නොවෙයි. පසුකාලීනව සකස්‌ කරගත් එකක්‌. පළමු සංගායනාවට ඇතුළත් නොවූ එකක්‌... ආදී වශයෙන් විරුද්ධව මත ප්‍රකාශ කරන අය බොහොමයක්‌ ඉන්නවා. වර්තමානයේ ගිහි පැවිදි දෙපාර්ශ්වය තුළම අභිධර්මයට විරුද්ධව මත ප්‍රකශ කරන අය ඉනන්වා. අභිධර්මය විතරක්‌ නොවෙයි, අද සමහර අසපුවාසී භික්‌ෂුන් සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ කොටසුත් බුද්ධ දේශනා නොවෙයි කියල ඉවත් කර තියෙනවා. ඒක ශ්‍රී සද්ධර්මයට ඉතා අනතුරුදායක තත්ත්වයක්‌.

පළමුවැනි ධර්ම සංගායනාවේදී අභිධර්ම පිටකයක්‌ තිබුණේ නෑ කියල සමහරු කිව්වත්, විනය පිටකයට අයත් චුල්ලවග්ග පාලියේ පළමුවැනි ධර්ම සංගයනාව විස්‌තර කරන පංචසතික ඛන්ධකයේ මේ විදියට සඳහන් වෙනවා.

උපාලි විනයං පුච්ä - සුත්තන්තානන්ද පණ්‌ඩිතං

පිටකං තීණි සංගීතිං - අකංසු ජීනසාවකං

උපාලි තෙරුන්ගේ විනය විචාළේය. පණ්‌ඩිත වූ ආනන්ද තෙරුන්ගෙන් සූත්‍ර විචාලේය. මෙසේ බුද්ධ ශ්‍රාවකයෝ පිටක තුනම සංගායනා කළාහුය.

මේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අභිධර්මය ඇතුළත් බව සැලකිය යුතු අතර මේ විදිහට එකට තිබිච්ච දහම් කොටස්‌ තුන්වැනි ධර්ම සංගායනාවේදී වෙන්කරල ත්‍රිපිටකය විදිහට සංග්‍රහ වුණා.

ත්‍රිපිටකය පාලියෙ එන උද්දාන, පෙයියාල, වග්ග, නිපාත, සංයුක්‌ත, පණ්‌ණාසක, පිටක, නිකාය, ප්‍රකරණ ආදිය ධර්ම සංගායනා කළ මහ රහතන් වහන්සේලා විසින්ම එකතු කළ ඒවා බව සත්‍යHක්‌. ඒ නිසා උද්දාන ගාථාවේ දැක්‌වෙන ත්‍රිපිටක සංගීතිය ඒ විදිහට පවත්වපු බව පිළිගත නොහැකි යෑයි කීම මුළා අදහසක්‌. තමන්ගෙ වාදය ඔප්පු කරගන්න ප්‍රමාණවත් සාධක නැති වෙන කොට, ප්‍රකටව පෙනෙන සත්‍යය පවා ප්‍රතික්‌ෂේප කිරීම විතණ්‌ඩාවාදීන්ගේ ලක්‌ෂණයක්‌.

තථාගතයන් වහන්සේ විසින් අභිධර්මය දේශනා කළේ දෙවියන්ට. ඒ නිසා ඒක මිනිසුන්ට අවශ්‍ය දෙයක්‌ නොවෙයි කියල සමහරු කියනවා. දෙවියන්ට විතරක්‌ නොවෙයි, අභිධර්මය සැරියුත් හාමුදුරුවන්ටත් දේශනා කළ බවත්, උන්වහන්සේ අතවැසි භික්‌ෂුන්ට දේශනා කළ බවත් සඳහන් වීමෙන් ඒ කාරණය සාවද්‍ය බව ඔප්පු වෙනවා. සංයුක්‌ත නිකායේ දේවතා සංයුක්‌තයේ සියලු දේශනාත්, මිනිසුන්ට අතිශය ප්‍රයෝජනවත් මහා මංගල වගේ සූත්‍ර දේශනාත් දෙවියන්ට වදාළ දහම් න්‍යායන්. ඒ වගේම මාර සංයුත්තය, බ්‍රහ්ම සංයුත්තය, යක්‌ඛ සංයුත්තය, සක්‌ඛ සංයුත්තය ආදී සංයුත්ත නිකායේ දේශනා මිනිසුන්ට වදාළ දහම් කොටස්‌ නොවෙයි. එහෙම නොවුණා කියා ඒවා මිනිසුන්ට ප්‍රයෝජනවත් නැහැ යෑයි කිව හැකිද?

නිවන් දකින්න අභිධර්මය අවශ්‍ය නෑ කීමත්, අභිධර්ම විරෝධීන්ගේ තවත් මතයක්‌. ඒක එහෙම නම් මාතෘ දිව්‍ය රාජයා සෝතාපන්න වුණේ අභිධර්මය අහල නොවෙයිද? ඒ දේශනාව අහපු තවත් කොච්චර නම් දෙව් බඹුන් මගඵල සාක්‌ෂාත් කරන්න ඇත්ද? ඒ ඒ පුද්ගලයන්ගෙ ප්‍රඥවේ තරමට යම් යම් ධර්ම විග්‍රහයන් ගෝචර වෙනවා. ආසයාසුසය ඥනයෙන් තථාගතයන් වහන්සේ ඒ සියල්ල දන්න නිසා පුද්ගලයන්ට ගැළපෙන, පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් ධර්ම න්‍යායන් දේශනා කරනවා. ඒ නිසා නිවන් දකින්න අභිධර්මය අවශ්‍ය නෑ කියල කීම සම්පූර්ණ සත්‍යයක්‌ නොවෙයි.

මුල්ම කාලයේ අභිධර්මය තිබුණද, නිවන් දකින්න අභිධර්මය ඕනද කියල අහන තවත් පිරිසක්‌, අභිධර්මය පහල වුණේ බොහෝ පිරිසක්‌ නිවන් දැක්‌කට පසුවයි කියල තවත් මතයක්‌ ඉදිරිපත් කරනවා. ඒ කතාව එහෙම කියනවා නම් බුද්ධ ශාසනය පහල වෙලා විසි අවුරුද්දක්‌ ගියාට පස්‌සෙ තමයි විනය පැනෙව්වෙ. එතකොට විනය පනවන්න පෙර නිවන් දැකපු අය හිටිය නම් නිවන් ඕනත් නෑ කියල කෙනකුට තර්කයක්‌ ගේන්න පුළුවන්. ඒ වගේ කිසි තෙරුමක්‌ නැති තර්කවාද තමයි අභිධර්මය සම්බන්ධයෙන් කියන්නෙත්.

සූත්‍ර පිටකයේ තියෙන බුද්ධ දේශනාවලට පසුකාලීනව දීපු අර්ථකථන යම් කිසි විදිහකින් වැරැදී ගියොත් ඒ විසඳගන්න ක්‍රමයක්‌ සූත්‍ර පිටකයෙන් නොලැබෙන අතරම, ඒ සඳහා අභිධර්මයේ පිහිට පතන්න සිද්ධ වෙනවා. සාමාන්‍ය වෛද්‍යරයකුට රෝග විනිශ්චය කරලා බෙහෙත් නියම කරල රොගීන් සුවපත් කිරීමේ බලයක්‌ තියෙනවා. යම් හේතුවකින් එක සමානව වගේ තියෙන බෙහෙත් කලවම් වීමක්‌ සිද්ධ වුණොත් ඒක තෝරා බේරා ගන්න සාමාන්‍ය වෛද්‍යවරයකුට හැකියාවක්‌ නෑ. ඒ සඳහා බෙහෙත් නිෂ්පදනය කරන විශේෂඥයන්ගේ සහය ලබාගන්න අනිවාර්යෙන් සිද්ධවෙනවා. ඒ ඒ බෙහෙතේ තියෙන රසායනික සංයෝගයන්, ඒ ඒ බෙහෙත දෙන්න ඕන කුමන රෝගයටද ආදී සියලු විස්‌තරත් දන්නෙ විශේෂඥයන් විතරයි.

සූත්‍ර පිටකය කියන්නෙ සාමාන්‍ය වෛද්‍යවරයකුගෙ දැනුම වගේ දෙයක්‌. අභිධර්මපිටකය විශේෂඥයන්ගෙ දැනුම වගේ. අද වෙන කොටත් සූත්‍ර දේශනාවලට පසුකාලීනව උගතුන් දීල තියෙන අර්ථකථන තුළ සදොස්‌ තැන් තියෙනවා. ඒ නිසාම නිවන් මග යටපත්වෙලා ආර්ය උතුමන්ගේ බිහිවීම අඩුවෙලා තියෙනවා. සූත්‍ර පිටකයේ තියෙන බුද්ධ වචනවල අර්ථ වැරදිලා ගියාම, ඒක සූත්‍ර දේශනාවලින් විසඳගන්න බැරි වුණොත් අභිධර්මයේ පිහිට පතන්න අවශ්‍යම වෙනවා. ඒ නිසා අභිධර්මය නිවන් මග විවර කරගන්න උදව්වෙන නිසා ඒකෙන් නිවන් දකින්න අවශ්‍යතාවක්‌ නෑ කියල කියන්න බෑ.

බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසු අජාසත් රජතුමාගෙ අනුග්‍රහයෙන් රජගහනුවර වේහාර පර්වත පාමුල සප්තපර්ණී ගුහාව දොරටුව අසලදී මණ්‌ඩප සකස්‌ කරල, මහා කාශ්‍යප මහරහතන්වහන්සේගෙ මූලිකත්වයෙන් සිවුපිළිසිඹියාපත් මහරහතන් වහන්සේලා 500 නමක්‌ එක්‌ රැස්‌වෙලා ශාසන චිරස්‌ථිතිය සඳහා පළමුවැනි ධර්ම සංගායනාව පවත්වපු බව චුල්ලවග්ග පාලි පංචසතිකන්ධකයේ සංගීති නිධානයේ සඳහන් වෙනවා.

මේ ධර්ම සංගායනාව කොච්චර සැලකිල්ලෙන් කළාද කියනවා නම්, දහස්‌ ගණන් රහතන් වහන්සේලා අතරින් සිවුපිළිසිඹියාපත් මහ රහත් උතුමන් 500 නමක්‌ පමණයි සංගායනාවට සහභාගි කරගත්තෙ. ඒ වගේම ආනන්ද හාමුදුරුවො අර්හත්වයට පත්වන තුරුම සංගායනාවට නොගෙන ආසනය හිස්‌කර තැබූ බවත් සඳහන් වෙනවා. ආනන්ද හාමුදුරුවො අරිහත්වයට පත්වෙලා සංගීති ශාලාවට ළඟට ඇවිත් දොරට තට්‌ටු කරල තමන් පැමිණි බව සඳහන් කළාම, මහා කාශ්‍යප මහ රහතන් වහනසේ දොර ළඟට ඇවිත්, රහත්වුණා නම් දොර අරින්නෙ නැතිව ඇතුළුවෙන්න කියල ආනන්ද හාමුදුරුවන්ට දැන්වූවා. ඒ අනුව ආනන්ද හාමුදුරුවො තමන්ගෙ සෘද්ධි බලයෙන් යතුරු සිදුරෙන් ඇතුල්වූ බවත් සඳහන් වෙනවා. ඒ වගේම සමහර විස්‌තරවල පොළොව යටින් කිමිදිලා පැමිණි බවත්, තවත් තැනක අහසින් සෘද්ධියෙන් පැමිණි බවත් සඳහන් වෙනවා. ඒ කාරණය කොහොම වුණත් මෙයින් පෙනී යන්නෙ, සංගායනාව කොච්චර නම් සැලකිල්ලකින් වගකීමකින් සිද්ධ කළාද කියන කාරණය.

පළමු ධර්ම සංගායනාවේදී දීග නිකාය ආදිය ඒ ඒ තෙරවරුන්ට භාර කළත්, අභිධර්මය කිසිවකුටත් බාරදුන් බවක්‌ සඳහන් වෙන්නෙ නෑ කියල සමහර විචාරකයෝ අභිධර්මය බුද්ධ දේශනාවක්‌ නොවෙයි කියල පහර ගහනවා. නමුත් කෙනකුට බාර කළ දෙයක්‌ තවත් කෙනකුට අමුතුවෙන් බාර දෙන්න අවශ්‍ය නෑ. බුදුන්වහන්සේ විසින්ම අභිධර්මය ධර්ම සේනාධිපති සැරියුත් මහ රහතන් වහන්සේට බාරදුන්නා. ධර්ම පුරෝහිත මුගලන් මහ රහතන් වහන්සේ ඒකෙ ප්‍රවීණ කථිකයා වුණා. ධර්ම භාණ්‌ඩාගාරික ආනන්ද හාමුරුවො ඒක හිතේ දරාගෙන ඒ ධර්මයේ ආරක්‌ෂකයා වුණා. විශේෂයෙන් සැරයුත් මහ රහතන් වහන්සේගේ අතවැසි 500 ක්‌ රහත් භික්‌ෂුන් වහන්සේලා පෙරුම් පුරාගෙන ප්‍රාර්ථනා කළ විදිහට අභිධර්මිකයෝ බවට පත්වුණා. ඒ නිසා උන්වහන්සේලා ධරමාන කාලයේම සංගීතිකාරක මහ රහතන් උතුමන් අභිධර්මය වෙනත් පිරිසකට කොහොම නම් බාර කරන්නද? මේ විදිහට බුද්ධ කාලයේ පටන්ම අභිධර්මය රකින්න පිරිසක්‌ හිටපු නිසා ඒක වෙන පිරිසකට බාරදීමක්‌ සිද්ධ වුණේ නෑ. මේ කරුණ සාධක කරගෙන අභිධර්මය සංගායනා කළේ නෑ කියල කීම හිස්‌ ප්‍රලාපයක්‌ විතරයි.

පළමුවැනි සංගායනාවේදී අභිධර්මය විතරක්‌ නොවෙයි, සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ භාරකාරත්වය පවරපු කෙනකුන් සඳහන් වෙන්නේ නෑ. ඒ අනුව ඛුද්දක නිකායේ පළමුවැනි සංගීතියට ඇතුළත් වුණේ නෑ කියල ඉවත දමන්න සිද්ධ වෙනවා. මේ විදියට තම තමන්ගෙ දෘෂ්ටි මතවාද අනුව ධර්මය ඉවත් කරන්න ගියොත් ශාසනයට යන කල දසාව මොකක්‌ද?

තුන්වැනි ධර්ම සංගායනාව දක්‌වා සැරියුත් තෙරුන්ගේ පටන් අභිධර්ම පිටකය පවත්වාගෙන ආපු ඇදුරු පරපුර ධර්ම සංගනී, අත්ථ සාලිනී, අටුවාවල දක්‌වා තියෙනවා. පළමුවැනි සංගායනාවේදී ඛුද්දක නිකාය කාටවත් නොපරවන්නත්, හේතුවක්‌ තියෙනවා. ඛුද්දක නිකාය ග්‍රන්ථ රාශියකින් යුක්‌තයි. කොටස්‌ 15 ක්‌ විතර තියෙනවා. බුදුන්වහන්සේ ජීවමාන කාලයේදීම ඛුද්දක නිකායට අයත් ධර්මයන් භික්‌ෂුන් විසින් පරියාප්ත (පෙළ පොත, පූර්ණ වූ පත) වශයෙන් ප්‍රගුණ කළ බව 'ඉධ භික්‌ඛවේ භික්‌ඛු ධම්මං පරියාපුණ්‌ණති ගෙයිHං වෙයිH කරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භූත ධම්මං වේදල්ලං...' කියන දේශනා පාලියෙනුත් ප්‍රකාශ වෙනවා. මෙයින් කියෑවෙන්නේ භික්‌ෂුන් නවාංග ශාස්‌තෘ ශාසනය පරියාප්ති වශයෙන් හදාරපු බව. අභිධර්මය අයිති වෙන්නෙත් මේ අංග නවයෙන් වෙයHdකරණ කියන කොටසට. ඒ අනුවත් පෙණී යන්නේ අභිධර්මය ජීවමාන කාලයේ ප්‍රඥවන්ත භික්‌ෂුන් දැන සිටි බව.

නිද්දේශ පාලිය සහ පටිසම්භිදා මග්ග පාලිය කියන මේ කොටස්‌ දෙකත් සැරියුත් මහ රහතන්වහන්සේගෙම විග්‍රහයන්. ඒවාත් උන්වහන්සේගෙ අතවැසියන් කෙරෙහි පැවතියා. සෝණ කුටිකන්න තෙරුන්, මහා කාශ්‍යප තෙරුන්ගෙන් සූත්‍ර නිපාතය ඉගෙන ගත් බව සඳහන් වෙනවා. ධම්ම පදය වෙනම සංග්‍රහයක්‌ විදියට ඉගෙන ගත් බවත් සඳහන් වෙනවා. මේ කරුණු අනුව අභිධර්මය වගේම ඛුද්දක නිකායේ කොටස්‌ තථාගතයන් වහන්සේ ජීවමාන කාලයේ පටන් භික්‌ෂුන් වහන්සේලා අත තිබූ නිසා අභිධර්මයත්, ඛුද්දක නිකායත් පළමුවැනි සංගායනාවේදී ඉදිරියට පවත්වාගෙන යන්න කාටවත් අමුතුවෙන් පවරන්න අවශ්‍යතාවක්‌ තිබුණේ නෑ.

ඒ වගේම ඛුද්දක භාණක නමින් පරපුරක්‌ සිටීමෙන් ඛුද්දක නිකාය කාටපාඩමින් ගෙනා ඇදුරු පරපුරක්‌ සිටින බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ සියලු කරුණු අනුව පළමුවැනි සංගීතියේදී ඛුද්දක නිකාය සහ අභිධර්මය භික්‌ෂුන්ට නොපැවරීමෙන්, ඒවා සංගායනා නොවූ බවට කරන තර්ක නිශ්ප්‍රභාවෙනවා.

අභිධර්මය බුද්ධ භාෂිතයක්‌ නම් ඒකට නිධානයක්‌ තිබිය යුතු බවත්, ඒ වගේ නිධානයක්‌ සඳහන් නොවන නිසා අභිධර්මය බුද්ධ දේශනාවක්‌ විදිහට පිළිගන්න බෑ කියන කාරණය අභිධර්ම විරෝධීන්ගේ තවත් මතයක්‌. මේක ඉතා බොළඳ තර්කයක්‌. මොකද නිධානයක්‌ නොදක්‌වපු ජාතක, ධම්ම පද, සූත්‍ර නිපාත ආදී සූත්‍ර ගාථා, ඉති වුත්තක ආදී දේශනා බොහොමයක්‌ පෙළ දහමේ තියෙන නිසා අභිධර්මයට නිධානයක්‌ නැත්තේ නෑ. බුද්ධත්වයෙන් 7 වැනි වර්ෂයේ තව්තිසා දෙව් ලොවදී දෙවියන්ට අභිධර්මය දේශනා කිරීම සහ ඒ දේශනාව අවසානයේ තව්තිසා දෙව් ලොවින් සංකස්‌ස පුරයට වැඩම කිරීම සහ එහිදී සැරයුත් හිමියන්ට 'යේ ඥන සපුතා ධීරා' ආදී ධම්ම පද ගාථාවෙන් දහම් දෙසීම පිළිබඳ විස්‌තර ධර්මයේ සඳහන් වෙනවා. තථාගතයන් වහන්සේ අභිධර්මය දෙවියන්ට දේශනා කළා කියන කාරණයට නිධානය වෙන්නෙ ඉහත කරුණු.

අනුරාධපුරයේ වාසය කළ සුමනදේව හිමියන් ලෝවාමහාපායේ දහම් දෙසද්දී එක්‌ විරුද්ධ මතවාදියෙක්‌ අභිධර්මය බුද්ධ භාෂිතයක්‌ නම් ඒකෙ නිධානය කොහෙද කියල ඇහුවම, දෙව් ලොවදී බුදුන්වහන්සේ අභිධර්මය දෙශනා කළ බව සූත්‍ර පිටකයේa නිධානයක්‌ වගේ පාලියෙන් මේ විදිහට ප්‍රකාශ කළා. 'ඒකං සමයං භගවා දේවේසු විහරති පාරිච්ඡත්ථක මූලේ පණ්‌ඩුකම්බල සිලායං තත්‍ර ඛෝ භගවා දේවානං තාවතිංසානං අභිධම්ම කථං කථේසි. කුසලා ධම්මා අකුසලාධම්මා අඛ්‍යාකථා ධම්මා' - එක්‌ සමයක භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දෙව් ලොව වැඩ වාසය කරන කොට පරසතු රුක්‌ මුල පණ්‌ඩුකම්බල සෛලාසනයේ වැඩ සිටිමින් කුසලා ධම්මා, අකුසා ධම්මා, අඛ්‍යාකථා ධම්මා ආදී වශයෙන් තව්තිසා වැසි දෙවියන්ට අභිධර්මය දේශනා කළා.' යමක්‌ ඉල්ලා අඬන දරුවකුට ඒ දේ දෙනව වගේ අභිධර්මයේ නිධානය අහපු ඔහුට සුමනදේව හිමියන් ඔය විදිහට කරුණු දැක්‌වූවා.

ඊට පස්‌සෙ රැස්‌වුණු දොළොස්‌ දහසක්‌ මහ රහතුන් අතරින් තෝරාගත් 700 ක්‌ මහරහතන් වහන්සේලා එකතු වෙලා දෙවැනි ධර්ම සංගායනාව පැවැත්වුණා. ඒකෙන් පස්‌සෙ වඡ්ජිපුත්ථක භික්‌ෂුන් මහා සාංඝික නමින් නිකායන් පිහිටුවලා සංගායනාවක්‌ පැවැත්වූවා. මේ අය ධර්මය වෙනස්‌ කරල අමුතුවෙන් පිටක, ආගම, සූත්‍ර, පාරමිතා, අවතංසක, අවදාන, රත්නකූට, කල්ප ආදී නම්වලින් මිත්‍යා මත ඇතුල්කරල සංස්‌කෘත ග්‍රන්ථ හැදුවා. මේ වඡ්ජිපුත්ථක භික්‌ෂුන් අභිධර්ම පිටකයේ ප්‍රකරණ 6 නොපිළිගත් බව සඳහන් වෙනවා. මෙයින් දෙවැනි සංගායනාවේදී අභිධර්ම පිටකයේ ප්‍රකරණ 6 ක්‌ තිබිලා තියෙන බව සනාථ වෙනවා. පළමුවැනි ධර්ම සංගායනාවේදී අභිධර්මය සංග්‍රහ නොවුණ නම්, දෙවැනි සංගායනාවේදී ප්‍රකරණ හයක්‌ තියෙන්න විදිහක්‌ නෑ. පළමුවැනි සංගීතියේදී අභිධර්මය නොතිබුණයි කියන අගයෙ මතය බිඳින්න මේක වැදගත් ප්‍රබල සාධකයක්‌.

තුන්වැනි ධර්ම සංගයනාවේදී තමයි ත්‍රිපිටකය වෙන වෙනම කොටස්‌ විදියට වෙන්කරල සම්පූර්ණ කර තියන්නෙ. මාස නවයක්‌ පමණ ඒ සඳහා ගතවෙලා තියෙන්නෙ ඒ නිසා වෙන්න ඕන. නිවසක තියෙන සියලු භාණ්‌ඩ එක ගොඩකට දමල තියෙනකොට, එවා ගෘහ භාණ්‌ඩ විදිහට නම් කරනවා වගේ පළමුවැනි සංගායනාවේදී නිකාය පහ තුළ සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය වගේම විනය පිටකයත් තිබුණා. ගෙදරක එක ගොඩකට දමල තියෙන භාණ්‌ඩවලින් කුස්‌සියේ බඩු කුස්‌සියටත්, සාලයේ බඩු සාලයටත්, කාමරවල බඩු කාමරවලටත් වෙන්කර තියෙනවා වගේ ධර්ම විaනය වශයෙන් එකට තිබිච්ච බුද්ධ දේශනා ශ්‍රාවක දේශනා, විනය, සූත්‍ර, අභිධර්ම වශයෙන් වෙන් කරල මුඛ පරම්පරාවෙන් සුරක්‌ෂිතව ඉදිරියට ධර්මය පැවැතීම සඳහා තුන්වැනි ධර්ම සංගායනාවේදී කටයුතු කරල තියෙනවා.

පරවාදයන් ඛණ්‌ඩනය කරමින් ධර්මයෙන් කරුණු පෙන්වා, මොග්ගලීපුත්තතිස්‌ස මහ රහතන් වහන්සේ විසින් විග්‍රහ කළ කරුණු ඇතුළත් කර හැදූ කථාවත්ථු ප්‍රකරණය කියන්නේ අභිධර්ම පිටකයේ හත්වැනි ප්‍රකරණය. දෙවැනි ධර්ම සංගායනාව දක්‌වාම ප්‍රකරණ හයක්‌ විදිහට තිබිච්ච අභිධර්ම පිටකය තුන්වැනි ධර්ම සංගායනාවේදී සත්ත ප්‍රකරණයක්‌ වුණා. අභිධර්මය පසුකාලීනව සකස්‌ වෙච්ච දෙයක්‌ විදිහට සමහරු මත ප්‍රකාශ කරන්නෙ කථා වස්‌තුව, තුන්වැනි සංගායනාවේදී එකතු වෙලා තියෙන නිසා.

බුදුන්වහන්සේ ජීවමාන කාලයේ මහ රහතන් වහන්සේලා වගේම ධම්මදින්නා මෙහෙණියවගේ භික්‌ෂුණීන් විස්‌තර කළ චුල්ලවේදල්ල වගේ සූත්‍ර, ශ්‍රාවක භාෂිත වශයෙන් සූත්‍ර පිටකයේ සඳහන් වෙනවා. ඒ වගේම මුණ්‌ඩරාජ සූත්‍රය, ගෝඨමුඛ සූත්‍රය, මධුර සූත්‍රය වගේ දේශනා බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශ්‍රාවකයන් වහන්සේලා විසින් දේශනා කළ ඒවා. ජීවමාන බුදු සමයේදී ශ්‍රාවක භාෂිත බුද්ධානුමැතිය ලැබුව වගේ, සිවුපිළිසිඹියාපත් මහරහතන් වහන්සේලාගේ සියලු දේශනා බුද්ධ වචන විදිහට පිළිගන්න පුළුවන්. උන්වහන්සේලා කිසිදාක ධර්ම විරෝධී අදහස්‌ මාත්‍රායක්‌වත් ප්‍රකශ කරයි කියල සිහි බුද්ධිය තියෙන කෙනකුට කියන්න බැහැ. ඒ නිසා කථාවත්ථුප්‍රකරණය තුන්වැනි ධර්ම සංගායනාවේදී එකතු වුණා කියලා ඒක ධර්ම විරෝධී එකක්‌ විදිහට පිළිගන්න බෑ. ධර්ම සංගායනා තුනකින්ම සිවුපිළිසිඹියාපත් මහරහතන් වහන්සේ විසින් අභිධර්මය බුද්ධ දේශනාවක්‌ විදිහට පිළිගෙන තියෙන නිසා ඒ ගැන අල්පමාත්‍ර සැකයක්‌ ඇති කර ගන්න අවශ්‍ය නෑ.

තුන්වැනි ධර්ම සංගායනාව අවසානය තෙක්‌ ථෙරවාද ආචාර්ය පරම්පරාවේ මොග්ගලීපුත්තතිස්‌ස හිමියන්ගේ ශිෂ්‍ය වූ මහින්ද මහ රහතන් වහන්සේගෙ පරපුරෙන් ත්‍රිපිටක ධර්මය සංගීතිකාරක මහරහතුන්ගේ වාචනා මාර්ගය අනුව මුඛ පරම්පරාවෙන් පැවැතියා. මේ විදිහට සම්බුද්ධ පරිනිර්වාණයේ පස්‌වැනි ශතවර්ෂය තෙක්‌ කට පාඩමින් නොකඩ කොට ගෙනා ත්‍රිපිටක පෙළ දහම බු.ව. 440-454 අතර කාලයේ වළගම්බා රජු දවස පරියාප්තිධර ෂඩ් අභිඥලාභී පන්සියයක්‌ මහරහතන් වහන්සේලා විසින් අළුලෙන් විහාරයේදී ග්‍රන්ථාරූඪ කරග සංගායනාවක්‌ කළා.

ග්‍රන්ථාරූඪ කළ කාලයේ මහරහතන් වහන්සේලා ත්‍රිපිටකයම පුස්‌කොලවල ලියා තැබීමෙන් පෙනී යන්නේ ඒ උතුමන් අභිධර්ම පිටකය බුද්ධ දේශනාවක්‌ විදිහට පිළිගෙන තිබෙන බව මේ විදිහට සංගායනා හතරකින් ත්‍රිපිටකය බුද්ධ දේශනා විදිහට පිළිගෙන තියෙද්දි, මහරහතන් වහන්සේලාටත් අභියෝග කරමින් පෘථග්ජන උගතුන් අභිධර්මය බුද්ධ දේශනාවක්‌ නොවෙයි, පසුකාලීනව හදාගත්ත එකක්‌, පළමුවැනි සංගයනාවේදී සංග්‍රහ කළ එකක්‌ නොවෙයි ආදී වශයෙන් බොළඳ තර්ක ඉදිපරිත් කරනවා.

අභිධර්මය බුද්ධ දේශනාවක්‌ බව ඔප්පු කර ගන්න මෙතෙක්‌ ඉදිරිපත් කළ සාක්‌ෂි ප්‍රමාණවත් වගේම, තවත් තහවුරු කරගන්න සූත්‍ර පිටකයේ සහ විනය පිටකයේ අභිධර්මය පිළිබඳ දේශනා කර තියෙන කරුණු විමසා බලන්න පුළුවන්.

මඡ්Cධිම නිකායේ ගුලිස්‌සානි සූත්‍රයේ සැරියුත් හිමියන් ආරණ්‍ය භික්‌ෂුන්ට අභිධර්මය උගත යුතුයි කියල අවවාද කළ බව මේ විදිහට සඳහන් වෙනවා. 'අරඤ්ඤකෙන ආවුසෝ භික්‌ඛුණා අභිධම්මේ, අභිවිනයේ යෝගෝ කරණීයෝ සත්තාවුසෝ... අභිධම්මේ අභිවිනයේ පඤ්හං පුච්äතාරෝ' - ඇවැත්නි ආරණ්‍යයෙහිවසන භික්‌ෂුව විසින් අභිධර්මය හා අභිවිනය උඝත යුතුය. ඇවැත්නි, වනයෙහි වසන භික්‌ෂුවකගෙන් අභිධර්මය අභිවිනය ගැන ප්‍රශ්න අසන්නෝ වෙති. එසේ විචාල කල්හි පිළිතුරු දිය නොහැකිවූ විට මොහුට අභිධර්මය අභිවිනය ගැන දැනුමක්‌ නැතැයි කියා දොස්‌ කියති. ඒ නිසා වනයෙහි වසන භික්‌ෂුව අභිධර්මයෙහි අභිවිනයෙහි දක්‌ෂයකු විය යුතුය.

මහාවග්ග පාලියේ උපසම්පදා කර්ම කරන්න භික්‌ෂුන් අංග පසකින් යුක්‌ත වියයුතු බවත්, අතවැසියන් අභිධර්මයේ හික්‌මවීමටත් සමර්ථ වීම එයින් එක්‌ අංගයක්‌ බවත් ප්‍රකාශ වෙනවා. (පංචහි භික්‌කවේ අංගේහි සමන්නාගතේන, භික්‌ඛුණා උපසම්පාදේතබ්බං.. අන්තේවාසිකං වා සද්ධිවිහාරිකං වා අභිධම්මේ විනේතුං...)

පාචිත්තියා පාලියේ 'ඉංඝ තාව සුත්තන්තේවා ගාථායෝවා, අභිධම්මං වා පරියාපුනස්‌සු' කියන පාඨයෙන් ඒ කාලයේ අභිධර්මය භික්‌ෂුන් විසින් වෙනම පුහුණු කළ කරුණක්‌ බව දක්‌වනවා. එහිම භික්‌ඛුණී විභංගයේ 'අභිධම්මේ ඕකාසං කරාපෙත්වා සුත්තන්තං වා විනයං වා පුච්ඡත' කියන මේ වාක්‍යයෙන් භික්‌ෂුණීන් වහන්සේලාත්, අභිධර්මය හදාරපු බව ප්‍රකාශ වෙනවා.

බුද්ධ කාලයේ අභිධර්මයේ ප්‍රවීණ වූ ධම්ම කථික භික්‌ෂුන් නානා ප්‍රදේශවල වෙන වෙනම හිටපු බව පාරාජික පාලියේ හා චුල්ලවග්ග පාලියේ දබ්බමල්ල පුත්ත තෙරුන්ගේ කථාවෙනුත් පැහැදිලි වෙනවා. සෙනසුනේ පැනවීමෙන් අග්‍රස්‌ථානය ලැබූ දබ්බමල්ල තෙරුන් විසින් නොයෙක්‌ දෙසින් පැමිණෙන එක්‌ එක්‌ දකෂතාවන් තිබූ භික්‌ෂුන්ට වෙන වෙනම ආසන පනවපු බව සඳහන් වෙනවා. සූත්‍ර දේශනා ප්‍රගුණ කළ භික්‌ෂුන්ට එක තැනක, විනයධර භික්‌ෂුණට එක්‌ තැනක, ධර්ම කථිකයන් එක තැනක... ආදී වශයෙන්. 'අභිධම්මිකෝයේව ධම්ම කථිකො' කියන දේශනයට අනුව ධර්ම කථිකයන් අභිධර්ම ධරයන් බව පෙන්වා තියෙනවා. ධර්ම කථිකයන්ට ආසන පැනවීමෙන් පෙනී යන්නේ අභිධර්මිකයන්ට විශේෂත්වයකින් සලකා තියෙන බවයි.

එක්‌ කාලයක භාග්‍යවතුන් වහන්සේ සැරියුත්, මුගලන්, ආනන්ද, රේවත ආදී ශාසනයේ බොහෝ ප්‍රකට තෙරවරුන් සමඟ ගෝසිංගසාල වනයේ වැඩ වාසය කළා. මේ රහතන් වහන්සේලා එකතුවෙලා හිටපු අවස්‌ථාවක ගෝසිංගසාල වනය ගැන සැරියුත් හාමුදුරුවෝ මේ විදිහට ප්‍රකාශ කළා. රාත්‍රිය ඉතා පැහැදිලිය. ගස්‌වල මල් පිපී ඇත. දෙව් සුවඳ මෙන් සුවඳ හමයි. මේ විදිහට පරිසරයේ සොබා සෞන්දර්ය ප්‍රකාශ කරල එක්‌ එක්‌ රහතන් වහන්සේ ගෝසිංහසාල වනය බබළන්න හේතු පැහැදිලි කළා. එතැනදී මුගලන් මහරහතන් වහන්සේ ද්වේ භික්‌ඛු අභිධම්ම කථං කථෙන්ති' යම් භික්‌ෂුන් වහන්සේලා දෙනමක්‌ අභිධර්මය කතා කරයිද, ඒ හේතුවෙන් ගෝසිංගසාල වනය බබලන බව ප්‍රකාශ කළා කියල සූත්‍රයේ සඳහන් වෙනවා.

අංගුත්තර නිකායේ තතීය අනාගත භය සූත්‍රයේ වඩන ලද කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්Æ භාවනා නොවැඩූ අය අභිධර්මය කතා කරන්න යැමෙන් කළු ධර්ම (අසත්ධර්ම) මතුවෙලා සත්ධර්මය වැනසෙන හැටි පෙන්වා තියෙනවා.

අභිධර්මය වලංගු කරන තැනැත්තා ජීන චක්‍රයට (තථාගත ධර්මයට) පහර දෙන්නේය. සර්වඥතා ඥනය අවලංගු කරන්නේය. ශාස්‌තෘන් වහන්සේගේ විශාරද ඥනය නවත්වන්නේය. දහම් අසනු කැමැති ජනයා රවටන්නේය. ආර්ය මාර්ගය හරහා වැටක්‌ බඳින්නේය. අටලොස්‌ භේද කර වස්‌තුන්ගෙන් එකක පෙනී සිටින්නේය. භික්‌ෂුන්ට දඬුවම් කරන උක්‌ෂේපනීය කර්මය, නිස්‌සය කර්මය, තඡ්ජනීය කර්මය යන විනය කර්මයන්ට සුදුස්‌සෙක්‌ වන්නේය, දඬුවම් පිණිස ඒ විනය කර්මයන් කොට සසුනෙන් නෙරපිය යුත්තෙක්‌ වන්නේය කියල අර්ථ කථාචාර්යන් වහන්සේලා ප්‍රකාශ කර තියෙනවා.

පළමුවැනි ධර්ම සංගායනාවට පෙර අභිධර්මය තිබුණේ නෑ කියල කියන අය හේතු සහිතව ඒ කාරණය සනාථ කරන්නේ නෑ. එහෙම කියන අය විනය සූත්‍ර පිටක දෙක පළමුවැනි සංගීතියේදී සංග්‍රහවන බව පිළිගන්නවා. විනය පිටකයේ වගේම සූත්‍ර පිටකයෙත් නොයෙක්‌ තැන්වල අභිධර්මය සඳහන් වෙන බව මෙතෙක්‌ පෙන්වා තියෙන කරුණුවලින් සනාථ වෙනවා. එසේ නම් අභිධර්මය බුද්ධ දේශනාවක්‌ නොවෙයි කියල මත ප්‍රකාශ කරන අයට විනය සූත්‍ර පිටකය අනුව අභිධර්මය පිළිගන්න වෙනවා. එහෙම පිළිගන්නෙ නැත්නම් විනය සූත්‍ර දෙපිටකය පිළිගන්නත් ඒ අයට සාධාරණ අයිතියක්‌ නෑ. සූත්‍ර පිටකයේ උද්දේශ වශයෙන් දේශනා කළ දහම් කරුණු පූර්ණ විස්‌තරය වටහාගන්න පුළුවන් වෙන්නේ අභිධර්ම පිටකයෙන්.

විභංග ප්‍රකරණය තළ ඒ වගේ සියුම් විවරණයන් බොහෝ කොටම දකින්න තියෙනවා. පටිච්ච සමුප්පාදයේ මාතෘකා පාලිය සූත්‍රය පිටකයේ තිබුණත් පූර්ණ විස්‌තරයක්‌ සඳහන් වෙන්නේ නෑ. ඒක දැනගන්න පුළුවන්වෙන්නෙ පටිච්චසමුප්පාද විභංගය පරිශීලනය කිරීමෙන්. හේතු පටිච්ච සමුප්පාදය, ප්‍රත්‍ය පටිච්ච සමුප්පාදය, අඤ්ඤමඤ්ඤ පටිච්ච සමුප්පාදය, සම්පයුක්‌ත පටිච්ච සමුප්පාදය, ලෝභමූල, දෝෂ මූල, මෝහ මූල පටිච්ච සමුප්පාද චක්‍ර, කුසල මූල පටිච්ච සමුප්පාදය වගේ චක්‍රයන් විස්‌තර වශයෙන් විභංග ප්‍රකරණයේ සඳහන් වෙලා තියෙනවා.

ඒ වගේම එක චිත්තක්‌ෂණයක්‌ තුළ පටිච්ච සමුප්පාද චක්‍ර හතරක්‌ ක්‍රියාත්මක වන සැටිත් විස්‌තර වෙනවා. සිත පිළිබඳ මේ වගේ සූක්‍ෂම විග්‍රහයන් සර්වඥතා ඥනයකින් මිසක්‌ වෙන කිසිම ක්‍රමයකින් විස්‌තර කරන්න පුළුවන්කමක්‌ නෑ.

සත්තිස්‌ බෝධි පාක්‌ෂික ධර්මත් අභිධර්මය විදිහට දක්‌වා තියෙනවා. මේ දේශනය සමහර අය වරදවා වටහා ගෙන අභිධර්මය කියන්නෙ බෝධි පාක්‌ෂික ධර්ම මිසක්‌ අභිධර්ම පිටකය නොවෙයි කියා අභිධර්ම විරෝධීන් ප්‍රකාශ කරනවා. සමහර අසපුවාසී භික්‌ෂුන් මේ වැරැදි මතයේ සිටින බවත්, සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ කොටසුත්, බුද්ධ දේශනා නොවෙයි කියලා බැහැර කරන බවත් පෙන්වා දෙන්න ඕන. මේ වගේ වැරැදි මත සමාජගත කිරීමෙන් සිද්ධවෙන්නෙ එවා පිළිගන්න පශ්චිම ජනතාව වගේම අනුගාමික පැවිදි පිරිස්‌ දෘෂ්ටානුගතියට වැටිලා අවැඩ සිද්ධ කර ගැනීම. බෝධි පාක්‌ෂික ධර්මයන් අභිධර්ම පිටකයෙත් තියෙනවා. සූත්‍ර පිටකයට වඩා මේ කරුණුත් මැනවින් විස්‌තර කරල තියෙන්නෙ අභිධර්මය තුළ. බෝධි පාක්‌ෂක ධර්ම කියනකොට අභිධර්මාපිටකාගත කරුණුත් ඒකට ඇතුළත් වෙනවා. බෝධි පාක්‌ෂික ධර්මවලින් පිටත අමුතු අභිධර්මයක්‌ නෑ.

ඒ නිසා සර්වඥතා ඥනයකින් ලෝකයට හෙළි කළ ශ්‍රී සද්ධර්මය පෘථග්ජන නුවණින් බලා වැරැදි දෘෂ්ටි ඇති කරගෙන පරිහානියට පත්නොවී, විමර්ශන බුද්ධි ධර්මය දන්න කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් ධර්ම න්‍යායන් නිවැරැදිව වටහා ගෙන ධර්මය ගැන සැක නොකර සිවුසස්‌ දහම් අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕන. එයින් දියුණුවක්‌ මිසක්‌ පිරිහීමක්‌ වෙන්නෙ නෑ.
 


No comments:

Post a Comment