Wednesday, April 20, 2016


10 කුඹුරක්‌ උපමාකොට දෙසූ දහම


ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

නමෝතස්‌ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්‌ස!!!

'සෙය්‍යථාපි ගාමණී යං අදුං ඛෙත්තං අග්ගං, එව් මේව මය්හං භික්‌ඛු භික්‌ඛුනියෝ, තේසාහං ධම්මං දේසේමි ආදි කල්‍යාණං මඡ්ෙCධ කල්‍යාණං පරියෝසාන කල්‍යාණං සාFථං සබ්‍යඤ්ජනං කේවල පරිපුණ්‌ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේමි. තං කිස්‌ස හේතු? ඒතේහි ගාමණී, මංදීපා මං ලේණා මං තාණා මං සරණා විහරන්ති'

ගාමණී, යම් සේ යම් ඒ කුඹුර අග්‍රද, මට භික්‌ෂුව, භික්‌ෂුණිය එබඳුය. ඔවුන්ට මම දහම් දෙසමි. මුල කල්‍යාණ වූ මැද කල්‍යාණ වූ, අග කල්‍යාණ වූ අර්ථ සහිත ව්‍යඤජන සහිත හුදෙක්‌ පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කුමක්‌ නිසාද? ගාමණී, මොවුහු මා පිහිටකොට ඇඅත්තෝ මා අරක්‌සාව කොට ඇත්තෝ රැකවරණ කොට ඇත්තෝ මා පිළිසරණ කොට ඇත්තෝව වෙසෙති. එබැවිනි.

ඉහත සඳහන් කරනු ලැබුවේ සංයුත්ක නිකායේ සළායතන වර්ගයේ ඇතුළත් ඛෙත්තූපම සූත්‍ර දේශනාවේ දහම් කෙටසකුයි. භාග්‍යවතුන් වහන්සේ නාලන්දාව සමීපයෙහි පාවාරික අඹ වනයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි අසිබන්ධක පුත්ත ගාමණී භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මෙසේ පැවැසීය. භාග්‍යවතුන් වහන්සේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පීව, වැඩවසන සේක්‌ නම්, කුමක්‌ හෙයින් ඇතැමුන්ට සකසා දහම් දෙසන සේක්‌ද? ඇතැමුන් එසේ සකසා දහම් නොදෙසන සේක්‌ද? එහිදී භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළහ.

'ගාමණී, ඒ මෙ කරුණු නිසාය. එනම් යම් ගොවියකුට කුඹුරු තුනක්‌ වේ. එක්‌ කෙතක්‌ අග්‍රයි. එක්‌ කෙතක්‌ මැද ප්‍රමාණයේය. අනෙක්‌ කෙත නිසරුයි. තදයි. කරමැටි සහිතයි. මුඩුබිමකි. එම ගොවියා පළමුවෙන් වපුරන්නේ කුමන කෙතෙහිද? පළමුකොට අග්‍ර කෙතෙහි වපුරන්නේය. එහි වපුරා , ඉන් අනතුරුව මැද කෙතෙහි වපුරන්නේය. එහිද වපුරා යම් ඒ නිසරු තද කරමැටි සහිත මුඩු බිමෙහි වපුරන්නේ හෝ නොවෙයි. ඒ කුමක්‌ නිසාද? යටත් පිරිසයෙන් ගෙරින්ට අහර පිණිසවත් වන්නේ යන අදහසිනි.

මෙසේ උපමා ගෙනහැර දක්‌වමින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති. යම් සේ යම් ඒ කුඹුර අග්‍රද මම ඒ භික්‌ෂු භික්‌ෂුණීහු ඒවාගේයි. ඔවුනට මම දහම් දෙසමි. මුල කල්‍යාණ වූ මැද කළ්‍යාන වූ අග කල්‍යාණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදෙක්‌ පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කුමක්‌ නිසාද? ඔවුහු මා පිහිටකෙට මා, ආරක්‌සාව කොට, මා රැකවරණය කොට, මා පිළිසරණ කොට ඇත්තෝව වෙසෙති. එබැවිනි. භාග්‍යවතුන් වහන්සේ නැවතත් මෙසේ දේශනා කරති. 'ගමිණී යම් ඒ මැදුම් තෙක යම් සේද, මට උපාසක උපාසිකාවෝ එබඳුය. ඔවුන්ට මම දහම් දෙසමි. මුල කලණ වූ, මැද කලණවූ, අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදු පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කවර හෙයින්ද? ගාමිණී මොවුහු වනාහි මා පිහිටකොට, මා ආරක්‌ෂාකොට, මා රැකවරණ කොට , මා පිළිසරණකොට ඇත්තෝ වෙසෙති. එබැවිනි.

'ගාමණී යම් ඒ නිසරු තද කර මැටි සහිත මුඩු බිම්වූ කෙත යම් සේද මට අන්‍ය දෘෂ්ටික මහණ, බමුණු පිරිවැජියෝ එබඳුය. ඔවුන්ටද මම දහම් දෙසමි. මුල කලණවූ, මැද කලණවූ, අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදු පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කවර හෙයින්ද? එක්‌ පදයකුදු දැනගන්නාහු නම් ඉතා මැනවි. එය ඔවුන්ට දිගු කලක්‌ මුළුල්ලේ හිත සුව පිණිස වන්නේය කියායි.

මෙසේ කරුණු දැක්‌වීමෙන් අනතුරුව, නැවතත් නිදසුන් සහිතව අවබෝධය පිණිස, භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති.

'ගාමණී, යම් සේ පුරුෂයකුට මහදිය, බඳුන් තුනක්‌ වේද, ඉන් එක දිය බඳුනක්‌ සිදුරු රහිතය. නොවැගිරෙන්නේය. නොසිඳෙන්නේය. එක්‌ දිය බඳුනක්‌ සිදුරු රහිතය වැගිරෙන්නේය. සිඳෙන්නේය. එක්‌ දිය බඳුනක්‌ සිදුරු සහිතය. වැගිරෙන්නේය. සිඳෙන්නේය. ඒ කුමක්‌ නිසාද? ඒ පුරුෂයා දිය වත්කරනු කැමැත්තේ, යම් ඒ සිදුරු රහිත නොවැගිරෙන නොසිඳෙන බඳුනක්‌ වේද, යම් ඒ සිදුරු රහිත වැගිරෙන සිඳෙන බඳුනකුත් වේද, යම් ඒ සිදුරු සහිත වැගිරෙන සිඳෙන බඳුනකුත් වේද, මෙයින් කවර බඳුනෙහි පළමුකොට දිය බහාලන්නේද? මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රශ්න කළ කල්හි, අසිබන්ධක පුත්ත ගාමණි මෙසේ පිsළිතුරු දුන්නේය.

'භාග්‍යවතුන් වහන්ස, ඒ පුරුෂයා දිය බහාලනු කැමැත්තේ යම් ඒ සිදුරු රහිත නොවැගිරෙන නොසිඳෙන බඳුනක්‌ වේ නම්, එහි බහාලන්නේය. එහි බහා තබා සිදුරු රහිත වැගිරෙන සිඳෙන යම් ඒ බඳුනක්‌ වේ නම් එහි බහාලන්නේය. එහි බහා තබා සිදුරු සහිත වැගිරෙන සිඳෙන යම් ඒ දිය බඳුනක්‌ වේද එහි බහාලන්නේ හෝ බහාලන්නේ නොවෙයි. ඒකවර හෙයින්ද? යටත් පිරිසෙයින් බඩු සේදීමේ පමණකුදු වන්නේ කියාය.'

භාග්‍යවතුන් වහන්සේ මෙසේ නිදසුන් ගළපා දේශනා කරති.

'ගාමණී, සිදුරු රහිත, නොවැගිරෙන නොසිඳෙන, යම් ඒ දිය බඳුන යම් සේද, භික්‌ෂු භික්‌ෂුණීහු මට එබඳුම වෙති. ඔවුන්ට මම දහම් දෙසමි. මුල කලණ වූ මැද කලණ වූ, අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදු පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කුමක්‌ නිසාද? ගාමණී, මොවුහු, මා පිහිටකොට, මා අරක්‌ෂාව කොට මා රැකවරණ කොට මා පිළිසරණ කොට ඇත්තෝම වෙසෙති. එහෙයිනි. ගාමණී සිදුරු රහිත වැගිරෙන සිඳෙන යම් ඒ දිය බඳුන යම් සේද? උපාසක උපාසිකාවො මට එබඳුම වෙති. ඔවුනට මම දහම් දෙසමි. මුල කලණ වූ, මැද කළණ වූ, අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදු පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කුමක්‌ නිසාද? මොවුහු මා පිහිටකොට, ආරක්‌ෂාකොට, රැකවරණකොට, මා පිළිසරණ කොට ඇත්තෝව වෙසෙති. එබැවිනි. 'ගාමණී, සිදුරු සහිත වැගිරෙන සිඳෙන, යම් ඒ දිය බඳුන යම් සේද අන්‍ය දෘෂ්ටික මහණ, බමුණු, පිරිවැජියෝ මට එබඳුම වෙයි. මම ඔවුන්ටද දහම් දෙසමි. මුල කලණ වූ, මැද කලණ වූ, අග කලණ වූ අරුත් සහිත ව්‍යඤජන සහිත හුදු පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කුමක්‌ නිසාද? එක්‌ පදයකුදු දැනගන්නාහු නම් ඉතා මැනවි. එය ඔවුන්ට දිගු කලක්‌ මුළුල්ලේ හිත පිණිස, සුව පිණිස වන්නේය කියාය.

මෙම කුඹුරක්‌ උපමාකොට දෙසූ දහම් පරියායේ පෙන්වූ උපමා උපමේය පිළිබඳව මනා සිහිනුවණින් පරීක්‌ෂාකොට බලන්න. ගොවියෙක්‌ පළමුකොට වපුරන්නේ සරුසාර බිමක්‌ ඇති, මනා අස්‌වැන්නක්‌ නෙළාගත හැකි කුඹුරෙහිය. භික්‌ෂු, භික්‌ෂුණී එසේමය. එමෙන්ම, යම් පුරුෂයෙක්‌ දිය පුරවන්නේනම් සිදුරු රහිත නොවැගිරෙන, නොසිඳෙන බඳුනෙහිම දියවක්‌කරන්නේය. භික්‌ෂු, භික්‌ෂුණීහුද එසේම මනා වූ බඳුනක්‌ බඳුය. සසර බිය දක්‌නා වූ මනා නුවණින් යුතුව සසුනට ඇතුළුවන භික්‌ෂු භික්‌ෂුණීහු සතර සතිපට්‌ඨාන, සතර සෘද්ධිපාද, සතර සම්‍යයක්‌ ප්‍රධන් වීර්ය. පංච ඉන්ද්‍රිය, පංචබල, සත්ත බොඡ්ජංග ධර්ම, ආර්ය අෂ්aටාංගික මාර්ග නම් වූ සත්තිස්‌ බෝධිපාක්‌ෂික ධර්ම මග ඔස්‌සේම වැඩම කරති. සීල, සමාධි, ප්‍රඥ, විමුක්‌ති, විමුක්‌තිඥන, දස්‌සන මඟටම යොමුවෙති. භාග්‍යවතුන් වහනසේ විසින් යම්වූද, පරමාර්ථ දහමක්‌ දෙසන ලදද ඒ මඟටම යොමුව වැඩ වසති. ආශ්‍රයන් ගෙන් මිදීමට පියවරෙන් පියවර විදසුන් නුවණ මෙහෙයවති. මේ නිසා සසුන් කෙතෙහි භික්‌ෂු-භික්‌ෂුණී සරු කෙතක්‌ බඳුය. භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශ්නා කරන මුල, මැද, අග කලණ වූ අරුත් සහිත ව්‍යාඤ්ජන සහිත සියලු ආකාරයෙන් පරිපූර්ණ, පිරිසිදු බ්‍රහ්මචරියා මඟ ඒ භික්‌ෂු භික්‌ෂුන් කෙරේ මැනවින් වැඩෙයි.

භාග්‍යවතුන් වහන්සේ පළමු කොටද, වඩාත් උනන්දු කරවමින්ද, ඒ දහම් දෙසන්නේ ඒ නිසාය. භික්‌ෂු - භික්‌ෂුණී සසුන් කෙරෙති උතුම් වූම ඵවූ මගඵල නිවන් ඵලයම ලබති. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්‌ කලකින් පහළවීමේ දුර්ලභවූම අවස්‌ථාවෙන් ප්‍රයෝජන ලබති.

භාග්‍යවතුන් වහන්සේ උපාසක උපාසිකාවන්ට ඒ මුල, මැද, අග කිලණ වූ අර්ථ සහිත ව්‍යඤ්ජන සහිත පිරිපුන් පිරිසිදු බ්‍රහමචරියා මඟ දෙසති. ඔවුන් මධ්‍යම තරමේ සරු බවක්‌ ඇති බිමක්‌ බඳුය. 'සම්බාධෝ ඝරාවාසෝ බහුකිච්චෝ බහුකරණීයෝ' යනුවෙන් දැක්‌වූ පරිදි ගෘහස්‌ථ ජීවිතය, සම්බාධ සහිතය. බොහෝ කටයුතු බොහෝ ක්‍රියාකාරකම් ඇත්තෝය. එනම් දෙමාපිය, ස්‌වාමි-භාර්යා, දූ-දරු, ඥති, හිතමිත්‍ර ලෙස කළ යුතු කටයුතු සහ රැකියා, වෘත්තීය, භෝග සම්පාදනය ලෙසය. මේ නිසාම දුක්‌ඛ දොaමනස්‌සද බහුලය. දිය බඳුනේ උපමාවේදී දැක්‌වූ පරිදි, සිදුරු රහිතය.

එනම් භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට ආරක්‌සාවකොට, රැකවරණකොට, පිළිසරණකොටම වාසය කරති. ධර්ම මාර්ගයට අවතීර්ණව සිටිති. එසේ නැතිනම් ධර්ම මාර්ගයට පිළිපන් ශ්‍රාවකයෙක්‌ ශ්‍රාවිකාවන්වීමට වෙරදරති. එනමුත්, කාමභෝගී ජීවිත නිසා, මධ්‍යම ප්‍රමාණයේ සරු බිමක්‌ වගේම බඳුන වැගිරෙන සිඳෙන බැවින් යුතුය. ධර්ම මාර්ගයේදී බොහෝ සේ නීවරණයන්ට හසුවෙති. තුන්වෙනුව සඳහන් කළ මුඩු කරමැටි සහිත බිම නම් අන්‍ය දෘෂ්ටිකයෝය. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට වාසය කරන්නෝ නොවෙති. මේ බුදු සසුනෙහි ඔවුහු නිසරු කරමැටි සහිත මුඩු බිමකි. සිදුරු සහිත, වැගිරෙන, සිඳෙන දිය බඳුනකි. එනමුත් භාග්‍යවතුන් වහන්සේ මුල, මැද, අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත පරිපූර්ණ පිරිසිදු බ්‍රහ්මචරියාව දෙසති. ඒ මුඩු බිමක්‌ වුවද යම්තම් බීජයක්‌ වපුරා හෝ ගෙරින්ටවත් අස්‌වැන්න ප්‍රයෝජන පිණිසය. සිදුරු සහිත බඳුන නමුත්, බඩු සේදීමට තරම්වත් එය දිය බඳුන ප්‍රයෝජන ගැනීමටය. එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ දෙසන ලද ඒ මිහිරි, අර්ථ සහිත සද්ධර්මයෙන් එක්‌ පදයක්‌ තමුන් දැනගන්නේ නම්, එයම ඔවුන්ට දිගු කලක්‌ මුළුල්ලේ හිතසුව පවත්වන නිසාය. මෙම උපමා තුනෙන් පළමු උපමා දෙකම අපගේ ජීවිතවලට ගළපා බලමු. සසර ගමනේ ලද උතුම් වූ මනුෂ්‍ය ජීවිතයේ සරු බව වටහා ගනිමු. සිදුරු රහිත, නොවැගිරෙන, නොසිඳෙන, දිය බඳුනක්‌ සේ පරමාර්ථ ධර්ම මාර්ගයෙහි මනාවූ සතියෙන් යුක්‌ත වෙමු. උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්ම අවබෝධ පිණිසම අධිෂ්ඨාන කර ගනිමු.


No comments:

Post a Comment