# තුන් භවය ම ගිනිගත් යකඩ වැටකි
පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි
රත්තරං, රිදී මුතු මැණික් තියෙන තැන බුදුරජාණන් වහන්සේ කියනවා දුක කියලා. ඒ දේවල් නො ලැබෙන කොට දුක නැතුව ඉන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දැක්‌කා. ඔය ගින්දරයි ළඟට එන්නේ, ඔය දුකයි ළඟට එන්නේ, ළඟට ගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දැක්‌කා.
මේ දේවල් අයින් වෙන කොට දුක එනවා කියලා ලෝකය දැක්‌කත්, බුදුරජාණන් වහන්සේ කියන්නේ ඕවා අයින් වෙන කොට දුක නැති වෙනවා කියලයි. ලෝකයා දැක්‌කා පුළුවන් තරම් උදේ ඉඳන් රෑ වෙන තුරුත්, රෑ ඉඳන් උදේ වන තුරුත්, වැඩ කරලා පුළුවන් තරම් මේවා එකතු කරන්න. බුදුරජාණන්වහන්සේ දැක්‌කා උදේ ඉඳන් රෑ වන තුරුත් රෑ ඉඳන් උදේ වන තුරුත් වෙහෙස වෙලා වැඩ කරලා පුළුවන් තරම් මේවායින් මිදෙන්න ඕන කියන එක මාර්ගය හැටියට පෙන්නුවා. මේවායින් මිදෙන්න කිව්වා.
දැන් ඔභ ඔන්න එය හතර ටික ටික හරි ජීවිතයෙන් දකින්න ඕන. ගෙවල් දොරවල්, යානවාහන, ඉඩකඩම්, මිල මුදල්, නො වෙයි, ජාතිය ස්‌වභාවය කොට, ජරාව ස්‌වභාවය කොට, ව්‍යාධිය ස්‌වභාවය කොට, මරණය ස්‌වභාවය කොට ඇති ධර්මතා නේ ද කියලා පෙනුණොත් යම් දවසක පෙනුණොත්, මේ දන්නවා කියන එක නො වෙයි, "පෙනෙනවා" "දකිනවා" කියන එකේ ලොකු අර්ථයක් තියනවා.
පාරෙ යනකොට සතෙක් ජරා කරපු තැනක්, අශුචි ගොඩක් එහෙම දැක්‌කොත් ඒකේ අශුභ බව ඔබට හිත හිතා ඉන්න ඕනෙ ද? එක පාරට ම පෙනෙනවා නේ ද? පෙනීම තියෙන තැන දී අසිහිය නෑ. බැරි වෙලා, වැරැදීමකින් හරි සාක්‌කුවේ දා ගනී ද? හිතලා නො වෙයි බැරි වීමකින් දා ගත්තොත්? දා ගන්න බැරි ද? බෑ. මොකද? "පෙනෙනවා" කියන තැන දී "අසිහිය" කියලා එකක් නෑ. "නෑ, නෑ, මේක අශුභ නෑ, හරි ශුභයි, මේක හොඳයි, සුවඳයි ගන්ඩ ඕනේ" කියලා වචන ටිකක් කිව්වාට කය පස්‌සට අදිනවා. හිතත් පස්‌සට අදිනවා. ඒ මොකද "දකිනවා" කියන මට්‌ටම නිසා. එතකොට "අශුභයි අශුභයි" කියලා, "මේක අශුචි, අශුචි" කියලා ප්‍රර්ථනා කරන්න ඕන ද? හිතන්න ඕන ද? හිතුවත් නැතත්, ප්‍රාර්ථනා කළත් නො කළත්, පෙනෙනවා කියන මට්‌ටම යෙදිලා.
තිරිසන්ගත සතකුට, රිලවකුට, බල්ලකුට වගේ සතකුට කණ්‌ණාඩියක් දුන්නොත් මොකක් වෙයි ද? ඉදිරියෙන් පේන රූපයට බුරයි ද නැද්ද? බුරනවා. කෑගහනවා නේ ද? ඔබ කණ්‌ණාඩිය දිහා බැලුවහ ම, මූණෙ නේ පවුඩර් ගාන්නේ, ඇයි ඔබ කණ්‌ණාඩියේ පඩුඩර් ගාන්නෙ නැත්තේ? අපි කවදා වත් හිතලා තියනව ද කණ්‌ණාඩියේ තියෙන්නෙ ඡායාවක්. මේ මගේ මූණෙ තියන ඡායාවක් මේ වැටෙන්නේ, තියලා හිතලා තියෙනව ද? හිතුවේ නැති වුණාට අපි නුවණින් දකිනවා නේ ද? නුවණ කියන එක යෙදුණහම, ඒකට අනුව හිතන්න වත් ඕනේ නැහැ. තිරිසන්ගත සතා නුවණ නො යෙදුණ නිසයි කණ්‌ණාඩියට පනින්නේ.
හොඳට දැනගන්න, අපි කණ්‌ණාඩියට පනින්නේ නෑ කියන්නේ, ඒක බලනවත් එක්‌ක ම නුවණ යෙදිලා. නුවණ යෙදෙන කොට ඒ ප්‍රතික්‍රියාව කරන්නේ නැහැ. තිරිසන්ගත සතාට වගේ ප්‍රතික්‍රියාව නැත්තේ ඇයි? නුවණක් ඇති නිසා. අපට "මනුෂ්‍යයා"යි කියන්නේ නුවණ මතයි. ඒකෙන් තමා ඒක වෙන්නෙ.
ඒ වුණාට දුවා පුතා කියලා අපි පනින්නේ රිලවා කණ්‌ණාඩියට පනිනවා වගේ නේ. මේ අපි පෙනෙන දේට පනිනවා කියලා දන්නව ද? කණ්‌ණාඩියේ පවුඩර් ගානවා වගේ වැඩක් අපි මේ කරන්නේ.
මනුෂ්‍යයෙක් කණ්‌ණාඩියේ පවුඩර් ගාන්න යන්නේ නැහැ නේ. ප්‍රතික්‍රියා දක්‌වන්නේ නැහැ නේ.
ඒ වගේ රහතන් වහන්සේලාත් මේවා හම්බ වෙන කොට ක්‌ෂණිකව ව දන්නවා දුක කියලා. පනින්නේ නැහැ ඒවාට. හිතන්ඩ වත් ඕනේ නැහැ. නුවණ කියන එක යෙදුණහම අර කණ්‌ණාඩියේ දකින කොට මේ ඡායාව කියලා වෙන් වෙලත් ඉවරයි. හඳුනාගෙනත් ඉවරයි වගේ. හම්බ වෙන කොට ම, සංඛත ධාතුව කියන්නේ, නැත්නම් ලෝකය කියන්නේ "දුකයි" කියන තැනින් මේ තීන්දු තීරණ හැදිල ඉවරයි. එතැනින් එහා ආයෙ ප්‍රතික්‍රියා නෑ. මවයි පියයි අතර සංයෝජන, තාත්තයි දුවයි අතර සංයෝජන, මවුපියන් සහෝදරයන් අතර සංයෝජන මොනවත් ම එතන නැහැ. තියෙන්නෙත් දකින්නේත් "දුක" කියන තැනකිනුයි.
යම් දවසක ඔන්න ඔය මට්‌ටමට ලෝකය දකින්න ඕන. ඒ කියන්නේ දැන් අද අපට පෙනෙන්නේ බණ අහන කට්‌ටියක් ඉන්නවා, හාමුදුරුවෝ බණ කියනවා. මේ එක ම පහන් දැල්ලයි. මෙහෙම ලෝකය තුළ වෙද්දිත්, යටින් දිව යන නුවණක් තියනවා නම් අපිට, මෙතැන තියන්නේ මේ රූපය, මේ වේදනා, සංඤ්ඤා සංඛාරය, නැත්නම් මේ තියන්නේ දුක නේ ද, මේ අපට පෙනෙන්නේ, හම්බ වෙලා තියන්නේ දුකයි. මේ ටික දකින්න පුළුවන්. මේ මොනවා හරි දෙයක් අපි ගත්තා නම් ගත්තේ, දුකයි. ඒ කියන්නේ අපට පෙනෙන්න ඕනේ ගෙවල්, දොරවල්, යාන වහන, ඉඩ කඩම්, මිල මුදල්, හරකා බාන කියලා මේ හේතූන් ගෙන් හටගත්ත මේ දේවල් "දුක" හැටියට දකින්න ඕන. ඒ දේවල් ලබාගන්න ලබා ගන්න, එන්නේ දුකයි කියන තැන මනස තියෙන්න ඕන. මේ දේවල් එකින් එක, එකින් එක, අයින් වුණොත්, එදාට මොකද වෙන්නේ? සැපක් එනවා, දුක නැති වෙන බව දන්නවා.
මේ ලෝකයේ ඇත්තේ ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩ කඩම්, මිල මුදල්, හරකා බාන නො වේ, දුකයි කියලා දකින මට්‌ටමට, මේ හේතූන් ගෙන් හටගත්ත දේවල් ලැබීම දුකේ ලැබීමයි කියන තැනට, හටගත්ත දේවලින් මිඳීම දුකෙන් මිදීමයි කියන තැනට මනස ගන්න මේ "සීල සමාධි ප්‍රඥ" කියන ත්‍රිශික්‍ෂාවයි තියන්නේ, කියන එක දැනගන්න ඕන.
මේ ත්‍රිශික්‌ෂාවේ ගිහිල්ලා, මෙන්න මේ තැනට අපේ මනස පත් කරගන්න එක තමයි නිෂ්ඨාව, කෙළවර කියන්නේ. රහතන් වහන්සේලා මුළු ලෝකය ම දකින්නේ තුන් භවය ම ගිනිගත්ත යකඩ වැටක් වාගෙයි.
"දුක්‌ඛෙ ඥනං" - දුක ගැන හොඳට නුවණ තියනවා.
දුක්‌ඛ සමුදයේ ඥනං - මේ දුක ඇති වන්නේ මෙන්න මෙහෙමයි කියලා දන්නවා. තණ්‌හාව නිසා. ඇයි දුක ඇති වන්නේ තණ්‌හාව නිසායි කියලා කියන්නේ? පහන් දැල්ල දුකයි. ඔය දුක් විඳින්න වෙන්නේ පළඟැටියට මොකක් හින්ද ද? පහන් දැල්ලට තණ්‌හා කරන හින්දයි. පහන් දැල්ල කියලා දැක්‌කොත් තණ්‌හා නො කර ඉන්න බැහැ නේ. පහන් දැල්ල දැක්‌කහම පහන් දැල්ලට තියන තණ්‌හාව නිසයි දුක් විඳින්න වෙන්නේ. තණ්‌හාව නැති වුණොත්, නැති වෙන්නේ මොකට ද, පහන් දැල්ලටයි. පහන් දැල්ලට තණ්‌හාව නැති වුණොත් පනිනවා ද? නෑ. පනින්නේ නෑ. එතකොටයි දුක නැති වන්නේ. ඒ නිසා ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩ කඩම්, මිල මුදල්, හරකා බාන, දූදරුවන් ගත්තහ ම, අරගෙන තියන්නේ මොකක් ද? දුකයි. එහෙනම් අපි දුකෙන් නො මිදුණේ මොකක් හින්ද ද? තණ්‌හාව නිසයි.
දුක්‌ඛ නිරෝෙ ඥනං - තණ්‌හාව නැති වුණොත්- කණ්‌හාව නැති වෙන්නේ කොහේ දී ද? ගෙවල් දොරවල්, යානවාහන, ඉඩ කඩම්, මිල මුදල්, හරකා බාන, දූදරුවන්ට තියෙන තණ්‌හාව නැති වුණොත් අපි ඒ දේවල් ළඟට ගන්නව ද? රැස් කරනව ද? නෑ. එහෙනම් නැති වෙන්නේ මොකක් ද අපිට? දුක. ඒ නිසයි තණ්‌හාව නිසයි දුක ඇති වෙන්නේ. තණ්‌හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා කියන්නේ, දුක් දේවලින් මිදෙන්නේ අප එදාට.
එහෙනම් මනස ඒ වාගේ තැනකට ගන්නයි මේ "සීල, සමාධි, ප්‍රඥ" කියන ත්‍රි ශික්‍ෂාව තියන්නේ.
No comments:
Post a Comment