Wednesday, April 20, 2016


06 අද තිබෙන මානසික මට්‌ටම

සම්පූර්ණයෙන්ම වෙනස්‌ කළ හැකි ක්‍රමය 

ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි

චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න හැටිත්, පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න හැටිත්, අවබෝධ කරගෙන දර්ශනය දැකලා කෙළෙස්‌ දුරු කරගන්න හැටිත් අහගත්තා.

අහගත්තාට තවම සෝවාන් වෙන්නේ නැහැ. මේ ටික අහගැනීමත් සමග ම දැන් තමයි මාර්ගය කියන එක පුරන්නෙක්‌ වෙන්නේ. ඊට මෙහා ම`ග කියන එක උපදින්නේ නැහැ කෙනෙකුට. කවදා වත් "අහලා" මාර්ගඵල ලබන්නේ නැහැ. අනුන් ගේ වචනයකින් තමන් ගේ මාර්ගය උපදින්නේ නැහැ. තමන් තුළ මාර්ගය උපදින්නේ තමන් ගේ දර්ශනයකින් මයි.

සෝතාපත්ති අංග හතරක්‌ තියෙනවා. කළ්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යොනිසෝමනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියලා. ඒ සෝතාපත්ති අංග හතරෙන් සෝතාපත්ති අංග දෙකක්‌ තමන්ට ලැබුණා.

දැන් තමන් දන්නවා සක්‌කායදිට්‌ඨ§ය නැති කරන්න කුමන ධර්මයක්‌ අවබෝධ කළ යුතු ද? විචිකිච්ඡාව නැති වෙන්න - පුබ්බන්තෙ ගැන විචිකිච්ඡාව, අපරන්තෙ ගැන විචිකිච්ඡාව, පුබ්බන්තෙ අපරන්තෙ ගැන විචිකිච්ඡාව, පටිච්චසමුප්පාද ධර්මය ගැන ඇති වන විචිකිච්ඡාව නැති කරන්න කුමක්‌ කළ යුතු ද? පට්‌ච්චසමුප්පාදය "අතීතයෙනුත්, අනාගතයෙනුත්, අතීතයේ ඉඳලා වර්තමානයටත්, වර්තමානයේ ඉඳලා අනාගතයටත් - මේ පට්‌ච්චසමුප්පාදය ධර්මයක්‌ ය" කියන ටික විමර්ශනය කළ යුතුයි කියලා, විචිකිච්ඡාව දුරු කරන්න මෙනෙහි කළ යුත්තේ මෙහෙමයි, මේ ධර්මතා දෙකෙහි අවබෝධය ඇති වුණහමයි සීල වෘත පරාමර්ශනය කරන වැරැද්ද නැති වෙන්නේ කියලා ඉගෙනගත්තා, දැනගත්තා.

ඊට පස්‌සේ මේ ධර්මතා දෙක ළඟ තබාගෙන ඒ කළ්‍යාණ මිත්‍ර ඇසුරෙන්, සද්ධර්ම ශ්‍රවණයෙන් පෙන්නපු චතුරාර්ය සත්‍යය දැකීමට, පටිච්චසමුප්පාදය දැකීමට, පුබ්බන්තය ගැන ඥනයක්‌ තමන් තුළ පහළ වීමට, අපරන්තය ගැන ඥනයක්‌ තමන් තුළ පහළ වීමට, පුබ්බන්ත අපරන්ත ගැන ඥනයක්‌ තමන් තුළ පහළ වීමට, පට්‌ච්චසමුප්පාද ධර්මය පිළිබඳ ඥනය තමන් තුළ පහළ වීමට, සීල වෘත පරාමර්ශනය කරන ගතිය මේ ජීවිතයේ දී නො වෙයි සසරේ දී වත් නො වන හේතුව තමන් තුළින් අයින් වීම සඳහා "කළ යුතුයි වැඩපිළිවෙළක්‌" කියන දර්ශනයට ආවා.

දැන් සත්‍ය ඥනය හම් බවුණා. ඊට පස්‌සේ කෘත්‍ය ඥනය ආරම්භ වනවා.

එහෙනම් මේකෙ දී මේ සත්‍යය අවබෝධයට දුක පිරිසිඳ දත යුතුයි. සමුදය ප්‍රහාණය කළ යුතුයි, නිරෝධය සාක්‌ෂාත් කළ යුතුයි, මඟ වැඩිය යුතුයි කියන මේ ටික කිරීමේ නුවණ තමන්ට පහළ වෙන්න ඕනේ. ඒ කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය, යොනිසොමනසිකාරය කියන අංග දෙක "තමා තුළින්" සපයාගත යුතුයි, උපයාගත යුතුයි කියන තැනකට ආවා.

ෆධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියලා කියන්නේ "සීල, සමාධි දෙක" සීල, සමාධි දෙක එකට එකතු කරලා කියනවා ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියලා.

ෆ යෝනිසෝමනසිකාරය කියනවා "හැම වේලාවේ ම" ඒ ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ, නැත්නම් "සීල සමාධි දෙකේ පිහිටලා නුවණ හසුරුවනවා", හිත මෙහෙයවනවා.

හැම වේලාවේ ම යම් ආකාරයකට හිතන කොට උපන් ආශ්‍රව ධර්ම වැඩෙයි නම්, නූපන් ආශ්‍රව ධර්ම උපදියි නම්, ඒ ආකාරය තමන් ගේ මනස තුළ ගොඩ නො නැෙ`ගන්නටත්, යම් ආකාරයකට හිතනකොට නූපන් ආශ්‍රව ධර්ම නූපදියි නම්, උපන් ආශ්‍රව ධර්ම ටික ටික දුරු වෙයි නම්, අඩු වෙයි නම්, ඒ විදිහට හිතන බව හුරුපුරුදු කරනවා. භාවනාව කියලා එයා දන්නේ නැහැ. එක තැනක ඉන්න එකක්‌ නො වෙයි. එහෙම කළත් ප්‍රශ්නයක්‌ නැහැ. නමුත් එතැනින් විතරක්‌ නො වෙයි මේක පෙන්වන්නේ.

පින්වතුනි, බුදුහාමුදුරුවෝ ලෝකයේ පහළ වුණේ භාවනාව කියලා එක දෙයක්‌ පෙන්වන්න නො වෙයි. නැවත දුක ඇති වන, ඇති කරන හේතු හැදෙන්නේ නැති විදිහට "ජීවත් වන ක්‍රමයක්‌" හොයලා දෙන්න.

අපි මෙහෙම ගත්තොත් - දැන් මේ පින්වතුන් මට පෙන්වන්න, හිතලා කැමැත්තෙන්, උවමනාවෙන් සසර දුකට යන, කෙළෙස්‌ ඇති කරගත්ත අය. ඉක්‌මනට වැඩ කටයුතු කරලා පැය භාගයක්‌ වත් කෙළෙස්‌ ඇති කරගන්න ඕනේ කියලා කවුරු හරි කෙළෙස්‌ ඇති කරගෙන තියෙයි ද? මම අවිද්‍යාව ටිකක්‌ ඇති කරගන්නම්, තණ්‌හාව, උපාදානය, ඕග යෝග, ග්‍රන්ථ, නීවරණ නැත්නම් සක්‌කායදිට්‌ඨ§ය - ඕවා ඇති කරගන්න කවුද උත්සාහවත් වුණේ? මේ පින්වතුන් කළේ ජීවත් වන එක විතරක්‌ නො වෙයි ද බලන්න. ජීවත් වනවා කියන කොට අත් දෙක බැඳගෙන, ඇස්‌ දෙක වහගෙන එක තැනක ඉඳගෙන ඉන්න එක ද? නැහැ. එක්‌කෝ වැඩට ගියා, දරුවන්ව ඉස්‌කෝලයට අරගෙන ගියා, දරුවන් ගේ රෙදි ටික හේදුවා, ගෙදරදොර අතුගෑවා, උයන පිහන කටයුතු කළා, ඔහොම නො වෙයි ද ජීවත් වෙනවා කියන්නේ? ඔය ජීවත් වෙන ටිකට අවිද්‍යාව ඇති වෙලා, කර්ම රැස්‌ වෙලා, තණ්‌හාව ඇති වෙලා, උපාදානය ඇති වෙලා, ඕග, යෝග, ග්‍රන්ථ, නීවරණ කියන යම් තාක්‌ කෙළෙස්‌ කන්දක්‌ තියෙයි නම්, ඔක්‌කොම ටික තමන් ගේ හිත මතට, කර මතට කඩාගෙන වැටිලා නැත් ද?

දැන් මේක ලිහන්න පැය භාගයක්‌, පැයක්‌ විතරක්‌ ගියහ ම අසාධාරණ නැත් ද? රැස්‌ කරන කොට, ජීවත් වෙන්න විතරයි ඕන වුණේ. නමුත් ලිහන්aන විතරක්‌ ඉක්‌මනට ඉක්‌මනට වැඩ කරලා පැයක්‌ භාවනා කරනවා. නැහැ. අපි ඉගෙනගත්ත ක්‍රමය වැරැදියි.

මේ ජීවත් වන ක්‍රමය වැරැදියි, ඔය ජීවත් වන ක්‍රමයටයි ඔක්‌කොම වැරැද්ද ඇති වුණේ. බුදුරජාණන් වහන්සේ එක ක්‍රමයක්‌ උගන්වන්නයි ලෝකයේ පහළ වුණේ. නිවන් දකින විදිහට ජීවත් වන තැනක්‌ හදලා දෙන්නයි බුදුහාමුදුරුවෝ පහළ වුණේ.

අද තමයි මේ පින්වතුන්ට භාවනා කියලා එකක්‌ තියෙන්නේ. අද තමයි අපි හිතාගෙන ඉන්නේ පැයක්‌ හෝ දෙකක්‌ හෝ භාවනා කළ යුතුයි කියලා. මම නෑ කියන්නේ නැහැ, ඕනේ නැහැ කියන්නේ නැහැ. ඒකත් කොටසක්‌. නමුත් එච්චරක්‌ විතරක්‌ නො වෙයි භාවනාව කියන්නේ. දහම කියන්නේ ජීවිතයේ හැම තැනකට ම සිසාරා පැතිර ගිය, විහිදුණු නුවණක්‌ වෙන්න ඕනේ. යම් විදිහකට ද ජීවත් වෙන්නේ, ඒ විදිහට ජීවත් වෙන කෙනාට නිවන ලැබෙන්නේ කොහොම ද, අන්න ඒ ක්‍රමය හොයලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වුණේ. ඒ ක්‍රමයේ දී ධම්මානුධම්ම ප්‍රතිපත්තිය, යොනිසෝමනසිකාරය අර්ථ ගැන්වෙන්න ඕනේ, කුළුගැන්වෙන්න ඕනේ, අන්න ඒ අර්ථය උපදින ආකාරයට.

මේ පින්වතුන් ඕනේ වැඩක්‌ කරන්න. කයෙන් ඒ වැඩය කරද්දී හිත ගැන වගබලාගන්න. හතර ඉරියව්වේ ම යොනිසෝමනසිකාරය තියන කොට, යොනිසෝමනසිකාරය හඳුනාගත යුත්තේ අර්ථයකින් මිසක වචනයකින් නො වෙයි. අසුබ විදිහට මෙනෙහි කිරීම යොනිසෝමනසිකාරයයි කිව්වොත් ඒක විතරක්‌ වෙනවා නේ. චතුරාර්ය සත්‍යය මෙනෙහි කිරීම යොනිසෝමනසිකාරයයි කිව්වොත් ඒක විතරක්‌ වෙනවා නේ. අනිත්‍යය බලන එක යොනිසෝමනසිකාරයයි කිව්වොත් ඒක විතරක්‌ වෙනවා නේ, නමුත් ඔය ඔක්‌කොම අයිති වන විදිහට අර්ථ දැක්‌විය යුතුයි. - මොකක්‌ ද - යොනිසෝමනසිකාරය පෙන්විය යුත්තේ පදයකින් නො වෙයි, අර්ථයකින්. යම් යම් ආකාරයට හිතන කොට නූපන් ආශ්‍රව ධර්ම නූපදියි නම්, උපන් ආශ්‍රව ධර්ම දුරු වෙයි නම් - තව පැත්තනික්‌ නූපන් අකුසල ධර්ම නූපදියි නම්, උපන් අකුසල කර්ම දුරු වෙයි නම් - ඒ විදිහට හිතන ක්‍රමයට කියනවා යොනිසෝමනසිකාරය කියලා. පින්වතුන්ට පුළුවන් නම් ගෙදරදොරේ දී වැඩකටයුතු කරන්න උපන් ආශ්‍රව ධර්ම - කාමාශ්‍රව, භවාශ්‍රව, දිට්‌ඨාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්ම ටික දුරුවෙන විදියට, නූපන් අශ්‍රව ධර්ම මනස තුළ නූපදින විදිහට හිත රැකගෙන, කුසල විතර්කයක්‌ හිතමින් ජීවිතයේ කටයුතු කරන්න පුළුවන් නම්, ඊට අමතර ව සීලයකත් පිහිටනවා නම්, ඉඩ ලැබෙන වේලාවකට චිත්ත සමථය ඇති කරගන්නත් උදව් වනවා නම්, ඔබ හැම වේලාවෙ ම ඉන්නේ භාවනා කරමින්. භාවනාව කියන කොට ඉඳගෙන ඉන්න තැන විතරක්‌ නො වෙයි. සිල් පුරන කොටත්, වැඩකටයුතු කරනකොටත්, "යොනිසෝමනසිකාරය" කියන්නේ භාවනාවක්‌ තමයි.

No comments:

Post a Comment