Wednesday, April 20, 2016

08 ස්‌පර්ශ ආයතන හයේ අවිද්‍යාව නැති කළොත් කර්ම රැස්‌ නොවේ

ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය
පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි

දුකෙඛ ඤාණං කියන කොට වර්තමාන දුක්‌ වූ ස්‌කන්ධ ටික හේතු ප්‍රත්‍ය බවට නුවණ තියෙන්නට ඕනේ.

දුකඛ සමුදයෙ ඤාණං කියන කොට මේ වර්තමාන දුකට අතීත හේතුව පෙනෙන්න ඕනේ. අද වැරැද්ද ඉතුරු කළොත් මේ දුක්‌ වූ ස්‌කන්ධයෝ මතු හදන හැටි ගැනත් නුවණ තියෙන්නට ඕනේ. පුබබනෙත ඤාණය තියෙන්න ඕනේ. අපරනෙත ඤාණය තියෙන්න ඕනේ.

එහෙනම් පුබබනෙත-අපරනෙත ඤාණය තියෙන්න ඕනේ - පෙර අඹ ඇටය නිසයි දැන් මේ ගහ හැදුණෙත්, ගෙඩි හැදුණෙත්. ගෙඩි ඇතුළේ අද අඹ ඇට ඉතුරු කළොත් මතුවටත් අඹ ගහක්‌ හදනවා.

පටිචචසමුපපාදෙසු ධමෙමසු ඤාණං - ඒ වගේ පෙර විපාකයේ ඇත්ත නො දැන අවිද්‍යා කර්ම රැස්‌ කළ නිසයි අද 'විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා' කියන ටික හටගත්තේ. අද මේ ස්‌පර්ශ ආයතන හයේ ඇත්ත ඇතිහැටියේ නො දැක්‌කොත් කර්ම

රැස්‌ වෙනවා මයි. අද ස්‌පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටියේ නො දැක්‌කොත්, අවිද්‍යාව ඉතුරු වුණොත් කර්ම රැස්‌ වෙනවා මයි. එහෙම වුණොත් නැවත 'විඤ්ඤාණ, නාමාරූප, සළායතන, ඵස්‌ස, වේදනා' කියන මේ ධර්මතා හැදෙනවා මයි කියන උත්තරයක්‌ ආවා.

ඊට පස්‌සේ දුකඛ නිරොධෙ ඤාණය එනවා. මේ චතුරාර්ය සත්‍යය මයි පටිච්චසමුප්පාදය හරහා අවබෝධ වෙන්නේ. දුකඛ නිරොධෙ ඤාණය ඇති වෙනවා.

පෙර ජීවිතයේ අඹ ගහේ ගෙඩි හැදෙන කොට ගෙඩි කාලා ඇට 'ඉතුරු නො කළා නම්' අද මෙතැන ඇටේ බිම වැටිලා, පැළ වෙලා, ගහක්‌ හැදිලා අතු ඉති හැදිලා අද ගෙඩි හැදෙන්නේ නැහැ නේ ද - පුබබනෙත ඤාණය ඇති වෙනවා.

අපරනෙත ඤාණය - එහෙනම් අද ගහේ හැදෙන ගෙඩි කාලා ඇට 'ඉතුරු නො කළොත්' හැම ඇටයක්‌ ම විනාශ කළොත්, මතුවට මේ අඹ ඇටේ බිම පැළ වෙලා ගහක්‌ හදනවා නම්, එබඳු වූ ධර්මතාවක්‌ වෙන්නේ නැහැ නේ ද කියලා දකින්න ඕනේ. එහෙම වුණොත් පුරාණ කර්මයට හටගත්ත මේ අඹ ගහ, පුරාණ ඇටයට හටගත්ත මේ අඹ ගහ අවුරුදු 50ක්‌ හරි 100ක්‌ හරි තියෙන කල් තියෙයි. එක ඇටයක්‌ වත් ඉතුරු නො කළ නිසා නැවත අඹ හටගන්න තියෙන හේතුව නැති කරලා මේ අඹ ගහෙන් ජීවත් වෙනවා. මේ තියෙන අඹ ගහත් නැති වෙන කොට නැවත හටගන්න අඹ ගසුත් නැති වුණහ ම, අඹ ගස්‌ කථාව ඉවරයි. මේ පැවැත්ම නිරුද්ධ වෙනවා.

ඒ වගේ එයා දකිනවා පෙර මේ ස්‌පර්ශ ආයතන හයේ අවිද්‍යාව නො වුණා නම්, පෙර ජීවිතයේ විද්‍යාව පහළ කරගෙන තිබුණා නම්, කර්ම නො කළා නම්, අද මේ වගේ විඤ්ඤාණය මවු කුසකට ඇවිල්ලා, නාමරූප වෙලා, මේ ආයතන හදලා, මේ දුක්‌ වූ ලෝකයේ ඉපදෙන්නේ නැහැ. මේකෙන් උත්තරයක්‌ මේ ගන්නේ, ගවේෂණයෙන්. ඒකට පසුතැවෙනවා නො වෙයි.

ඊට පස්‌සේ දැන් උත්තරයක්‌ ගන්නවා එහෙනම් 'අද මේ විපාකයට කරන්න දෙයක්‌ නැහැ' දැන් අඹ ඇටය බිම දාපු හින්දා පැළ වෙලා, ගහක්‌ හැදිලා, අතු ඉති ඇවිල්ලා, දැන් ගෙඩි හැදෙනවා. දැන් ඒකට කරන්න දෙයක්‌ නැහැ. දැන් උත්තරයක්‌ එනවා අද මේ අඹ ගහේ ඇට ඉතුරු නො කළොත් මතු ගසක්‌ නැහැ වගේ, අද මේ ස්‌පර්ශ ආයතන හයේ අවිද්‍යාව නැති කළොත්, විද්‍යාව උපදවාගත්තොත්, කර්ම රැස්‌ වන්නේ නැහැ. කර්ම ඇති වන්නේ නැහැ. එහෙම වුණොත් මතු විඤ්ඤාණය මේ වගේ රූපයකට බැසගෙන ආයතන හදලා ලෝකය උපද්දලා දුක උපදින එක නැති වෙනවා නේ ද කියන දර්ශනයක්‌ එනවා.

එහෙනම් 'පුරාණ කර්මයට විපාක හැටියට උපන්න මේ ජීවිතය තියෙද්දී ම' අවිද්‍යාව නැති කරලා, තණ්‌හා උපාදාන කියන කෙළෙස්‌ ටික නැති කරලා, නැවත මේ වගේ දුක්‌ වූ ආයතන හටගන්න හේතුව නැති කරලා, අවුරුදු 50ක්‌ හරි 100ක්‌ හරි පුරාණ කර්මයට උපන්න කයේ ජීවත් වෙනවා. ‚ණං පුරාණං - පුරාණ කර්මයෙන් හටගත් මේ ටිකත් නැති වෙන කොට, නවං නතථි සමභවං - නැවත භවයකුත් නැහැ. විරතතචිතතා ආයතිකෙ භවසමිං - නැවත භවයක නො ඇලුණු සිතින් - මොකද කලින් මයි අඹ ඇට කපලා විනාශ කෙරුවේ. තෙ ‚ණබීජා - කර්ම බීජය ක්‍ෂය වෙච්ච නිසා - අඹ ඇට එකක්‌ වත් නො කබා නැති කළ නිසා, නිබබනති ධීරා යථායමපදිපො - ඒ ධීරයන් වහන්සේ නිවෙනවා හරියට පහනක්‌ නිවුණා වගේ.

පුරාණ කර්මයෙන් හටගත්ත 'විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා' කියන ටිකේ 'ආයු සන්තතිය තියෙද්දී ම, ජීවිතය තියෙද්දී ම' මේ ටික ඇසුරු කරන කොට තියෙන අවිද්‍යාව නසලා, විද්‍යාව උපදවාගෙන ජීවත් වුණා අවිද්‍යා කර්ම පැවැත්ම නතර කරලා. ඒකට කිව්වා රහතන් වහන්සේ, නැත්නම් සෝපදිසෙස නිබ්බාන, අනුපාදා පරිනිර්වාණය කියලා. ඒකට කිව්වා නිවන කියලා.

මොකද කෙළෙස්‌, ස්‌කන්ධ දෙක එකට එකතු වෙලා විඳින දුක නිරුද්ධ වෙනවා මෙතැන දී. කෙළෙස්‌ ටික නැති වුණහම කෙළෙස්‌ සහ ස්‌කන්ධ කර්ම මිශ්‍ර වෙලා විඳින දුක නැති වුණා. ස්‌කන්ධ පැවැත්ම තුළ විඳින දුක විතරක්‌ ඉතුරු වුණා. පුරාණ කර්මයෙන් හටගත්ත මේ විපාක ටිකත් නැති වෙනවා. කලින් මයි කර්ම බීජය ක්‌ෂය කරලා තිබුණේ, අවිද්‍යාව නැති කරලා. ඒ ධීරයන්වහන්සේ නිවෙනවා පහනක්‌ නිවුණා වගේ කියලා කිව්වේ රහතන් වහන්සේ පිරිනිවුණු අවස්‌ථාව.

එතකොට නිරෝධය අරභයා නුවණක්‌ ඇති වුණා පුබබනෙත ඤාණයෙන් - පෙර අවිද්‍යා සංඛාර නො වුණා නම් අද මේ 'විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා' ටික නො වෙයි. අපරනෙත ඤාණය ගැනත් නුවණයි, අද අවිද්‍යා කර්ම නැති කළොත් මතු 'විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා' කියන ධර්මතා වෙන්නේ නැහැ නේ ද කියලා.

දුක්‌ වූ ස්‌කන්ධ ටික පිරිසිඳ දැක්‌කා - දුකෙඛ ඤාණය. දුක්‌ඛ සමුදයේ දී පටිච්චසමුප්පාදයේ ඉහළට පහළට යනවා. වර්තමානයේ දුක්‌ වූ ස්‌කන්ධයට හේතුව පෙර අවිද්‍යා සංඛාරයි. ඒකේ වැරැද්ද නිසා තමයි මේ දුක්‌ වූ ස්‌කන්ධ ටික. අද දුක්‌ වූ ස්‌කන්ධ ටික පිරිසිඳ නො දැන, 'අවිද්‍යාවෙන් සත්ත්ව පුද්ගලභාවයක්‌ හදාගත්තොත්' අද ඇති කරගන්න කර්ම කෙළෙස්‌ නිසා නැවතත් මේ වගේ දුක්‌ වූ ස්‌කන්ධ ටිකක්‌ හදනවා.

කිසි ම වෙලාවක සත්ත්වයෙක්‌ උපදිනවා, පුද්ගලයෙක්‌ උපදිනවා, සත්ත්වයෙක්‌ ආවා, පුද්ගලයෙක්‌ ආවා නො වෙයි - දුක්‌ වූ ස්‌කන්ධ ටිකත්, දුක්‌ වූ ස්‌ක්‌න්ධ ටිකට පෙර හේතුවත්, මේ දුක්‌ වූ ස්‌කන්ධ ටික අද ද පිරිසිඳ නො දැක්‌කොත්, අනාගතයටත් මේ වැරැද්ද නිසා දුක්‌ වූ ස්‌කන්ධයෝ හැදෙන හැටි තමයි එයා දැක්‌කේ.

කෙනෙක්‌ ඉපදෙනවා දැක්‌කේ නැහැ. පුද්ගලයෙක්‌ යනවා කියලා දැක්‌කේ නැහැ. පටිචචසමුපපාද ධමෙමසු ඤාණං - මේ පටිච්චසමුප්පාද ධර්මයක්‌ තියෙන්නේ. ඒ ධර්මයන් ගේ නිරෝධයක්‌, ලෝක නිරෝධයක්‌, දුක්‌ඛ නිරෝධයක්‌ දැක්‌කා.

පෙර අවිද්‍යා සංඛාරය නො වුණා නම් අද මේ දුක්‌ වූ ස්‌කන්ධ ටික හැදෙන්නේ නැහැ. කෙනෙක්‌ නැති වෙනවා නො වෙයි. මේ දුක්‌ වූ ස්‌කන්ධයෝ නැති වෙන්නේ.

අද මේ දුක්‌ වූ 'ස්‌කන්ධ ටික පරිහරණය කරන ගමන්' අවිද්‍යාව නැති කළොත් - මේ දුක්‌ වූ ස්‌කන්ධ ටික මම, මගේ, මගේ ආත්මයයි කියලා දකින කර්ම කෙළෙස්‌ නැති කළොත්, මත්තේ මේ වගේ දුක්‌ වූ ස්‌කන්ධයෝ හැදෙන්නේ නැහැ නේ ද කියලා මතු වූ ස්‌කන්ධයන් ගේ නො හටගන්න හැටිත් දැක්‌කා. 'කෙනෙක්‌' නො ඉපදෙනවා නො වෙයි, 'දුක්‌ වූ ස්‌කන්ධයෝ' නැවත නො හටගන්න හැටි දැක්‌කා.

එතකොට උත්තරයක්‌ ආවා - නිරෝධය දකින කොට ම මඟ (මාර්ගය) උපදිනවා. - එහෙනම් මේ පඤ්චඋපාදානස්‌කන්ධය පිරිසිඳ දැකිය යුතු ය කියලා. මොකද වර්තමාන පඤ්චඋපාදානස්‌කන්ධය පිරිසිඳ නො දැක්‌කකම නිසා නේ, අතීතයේ දීත් ඒ නො දකින අවිද්‍යාව නිසා නේ කර්ම රැස්‌ වෙලා තියෙන්නේ. ඒ නිසා නේ ෙමැතනට ආවේ. අද ද මේ දුක්‌ වූ පඤ්චඋපාදානස්‌කන්ධය පිරිසිඳ නො දැක්‌කොත් නේ කර්ම රැස්‌ වෙන්නේ. එහෙම වුණොත් නේ අනාගතයට යන්නේ. අතීතයේ දීත් පඤ්චඋපාදානස්‌කන්ධ දුක පිරිසිඳ දකින විද්‍යාව තිබුණා නම් කර්ම රැස්‌ වෙන්නේ නැහැ. එහෙනම් මෙතැනට එන්නේ නැහැ නේ. වර්තමාන දුක්‌ වූ ස්‌කන්ධයෝ පිරිසිඳ දකින නුවණ තිබුණා නම් කර්ම රැස්‌ වෙන්නේ නැහැ, එහෙම වුනොත් අනාගතය ද නැහැ නේ කියන කොට උත්තරයක්‌ ආවේ, මොකක්‌ ද -

'වර්තමානයේ පඤ්චඋපාදනස්‌කන්ධය' පිරිසිඳ දැක්‌ක යුතුයි කියලා.

මේ උත්තරය ගත්තහ ම, හරියට ම කෙනෙක්‌ දැක්‌කොත්

එයා ගේ සක්‌කාය දිට්‌ඨ§ය කියන එක නැති වෙනවා.

'වර්තමාන දුක්‌ වූ ස්‌කන්ධ ටික' හේතු ප්‍රත්‍යයි කියලා

දකිනවා.

තව පැත්තකින් ගත්තොත් විඤ්ඤාණය නාම රූපයට, නාම රූප සළායතනයට, සළායතනය ස්‌පර්ශයට, ස්‌පර්ශය වේදනාවට ඔවුනොවුන්ට ප්‍රත්‍ය වෙච්ච ධර්මතා ටිකක්‌ දකින කොට, ඊට පස්‌සෙ ඒක චක්‍රයක්‌. විඤ්ඤාණය නාම රූපයට, නාමරූප සළායතනයට, සළායතනය ස්‌පර්ශයට, ස්‌පර්ශය වේදනාවට - ඊට පස්‌සේ මේ නාම රූප දෙක විඤ්ඤාණයටත්, විඤ්ඤාණය නාම රූප දෙකටත්, ඔවුනොවුන්ට උපකාර කරගෙනයි පවතින්නේ. සිත කියන එක සිතටයි, සිතේ උපන් නාමධර්මවලටයි, රූපවලටයි උපකාරයි. ඒ නාමාරූප දෙක සිතට උපකාරයි.

එහෙනම් මෙතන දැන් පවතින්නෙ ඔවුනොවුන්ට උපකාර වෙන ධර්මතා ටිකක්‌.

මේ 'සිතේ ම හටගන්න සිතිවිලි' රූපය හැදෙන්න උපකාර වෙලා.

හැදෙන රූපයයි, හිතේ තියෙන සිතිවිලියි සිත පවතින්න උපකාර වෙලා කියන සිද්ධියකින් දකින කොට රූපය ආත්ම වශයෙන් දකින්නේ නැහැ.

මේ රූපය ඇති වෙන්නේ මොකක්‌ නිසා ද? සිතයි සිතිවිලියි දෙන්නා ගේ උපකාරය ලබලා. රූපය ඇසුරු කරගෙන වත් 'කෙනෙක්‌' නැහැ. තියෙන්නේ චිත්ත චෛතසික ටික ඇසුරු කරගෙන. රූපය නිසා පවතින ආත්මයකුත් නැහැ. ආත්මය නිසා පවතින රූපයකුත් මේ තුළ කොහේ වත් නැහැ. රූපයට උපකාර වෙලා තියෙන්නේ චිත්ත චෛතසික ටික.

ඊට පස්‌සේ වේදනාව, සංඥව, සංඛාරය කියන චෛතසික ටික ගත්තොත් එකක්‌ වත් මම වත්, මගේ වත්, මගේ ආත්මය වත් තියෙනවා නො වෙයි. ඒවා ආත්මත් නො වෙයි. ඒවා ඇසුරු කරගෙන ආත්මයකුත් තියෙනවා නො වෙයි. ආත්මය ඇසුරු කරගෙන ඒවා තියෙනවාත් නො වෙයි. මොකද? මේ සිතිවිලි ටික ඇති වෙන්නේ මොකක්‌ නිසා ද? රූපයයි සිතයි කියන දෙන්නා ගේ අනුග්‍රහය ලබලා සිතිවිලි ටික. සිතයි රූපයයි ඇසුරු කරගෙනයි මේ සිතිවිලි ටික පවතින්නේ. සිතිවිලි ටික ඇසුරු කරගෙන වත් අත්මයක්‌ තියෙනවා නො වෙයි. සිතිවිලි ටිකෙත් ආත්මයක්‌ තියෙනවා නො වෙයි. ස්‌පර්ශය නිසයි හටගන්නේ. ඒවා ඇසුරු කරගෙන වත් ආත්මයක්‌ තියෙනවා නො වෙයි, ඒවා ඇසුරු කරගෙන පවතින්නේ සිත. සිතට උපකාරී ව පවතින්නේ රූපය. ඔවුනොවුන්ට උපකාරයක්‌ ගන්නවා.

ඊට පස්‌සේ මේ සිත (විඤ්ඤාණය) ආත්ම වශයෙන්, සිත ඇසුරු කරගෙන ආත්මයක්‌ තියෙනවා කියලා ගන්නේ නැහැ.
 

 

No comments:

Post a Comment