Tuesday, June 21, 2016

අතහැරීම  පූජ්‍ය ධම්ම්ගවේසි හිමි 
ඔබ ධර්මය කියල මොකක් ද හොයන වා. වචන තුලින් ධර්මය දකින්න නමුත් වචන ධර්මය හැටියට දකින්න එපා. මේ ධර්මය කියන්නේ ලෝකේ සරලම දේ. නමුත් අවාසනාවකට අපි ගැඹුරක් මේ වචන තුලින් සොයන්න හදන වා. මේ වචන තුලින් අපි මේ ධර්මය ගැඹුරු කර ගෙන තියෙන වා. අපි කැමති වන්නේ මේ ගැඹුරු බණ පද වලට. සරල තැනින් තමා බුදුරජාණන් වහන්සේ පටන් අරන් තියෙන්නේ. මෙතන තියෙන්නේ ධර්මයේ ගැඹුරු බව නොවේ, මෙතන තියෙන්නේ කෙලෙස් වල ගැඹුරු බවයි……
ඔබයි, මමයි මේ ලෝකේ දුවන්නේ තමන්ට ගැලපෙන දහමක් හොයාගෙනයි. ඔබ ඉන්නේ දෘෂ්ඨි හා මතවාද අවස්ථාවෙයි. එම නිසා ඔබ කැමති විදිහට මේ ලෝකේ දෙස බලන්න එපා………බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සම්මා සමාධිය ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ක්‍රමවේදයෙන් පමණයි. ඔබේ ජීවිතයේ හරය සමාධිය නොවේ. සමාධියක් අපේක්ෂා කරන්න එපා. එම නිසා හැම වෙලාවෙම අත්හරින වා කියන සංකල්පය තුල පමණක් ඉන්න.
“දුක දිනා ජයගත් මිනිස්සු” කියා පොතක් ලියා තියෙන වා. ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපරික පිරිස් මහා දුක් විදලා අද කෝටිපතියෝ වුනු ආකාරය වර්ණනා කර තිබෙන පොතක් ඒක. පාන්දරින් නැගිටලා, කිලෝමීටර් ගණන් පයින් ඇවිදලා, පැසැල් ගිහිල්ලා උපාධි ලබාගෙන මහාචාර්‍යවරු වෙලා කෝටිපතියන් බවට පත්වෙලා. මොනාද මේ කියන්නේ මේ දුක උපාදාන කර ගත් ආකාරයි මේ කියන්නේ. මේ සතුටින් වර්ණනා කරන්නේ දුක. දුක දිනා ගැනීමක් නොවෙයි ඒක, වැඩියෙන්ම දුක උපාදාන කරගත් පිරිස ඒ. සාර්ථකව දුක් විදලා කෝටිපතියෙක් වෙලා. බලන්න අපි මොන තරම් මුලාවකට ගිහිල්ල ද කියල? දුක තියෙන්නේ විදින්න නොවේ , මේක අවබෝධ කරන්න තියෙන දෙයක්
ලෝකේ සියලු දෙනා තරග කරන වා විභාග කරන්න, රස්සාවල් කරන්න. නමුත් සම්මා දිට්ඨියේ  ඉන්න කෙනා මේවා දකින්නේ දුකක් විදිහට. දුකෙන් නිදහස් වෙන්න යන කෙනා මේ තරගය තුලට යන්නේ නැහැ. එයා සැලසුම් හදන්නේ නැහැ දුක් විදින්න. දුකෙන් නිදහස් වෙන්න යන කෙනා තරගයකට යන්නේ නැහැ එයා ලෝකේ තුල ඉන්නේ ඕනෙ නිසා ඉන්න වා නමුත් එයා වෙන මානසිකත්වක ඉන්නේ. එය කාටවත් තේරෙන්නේ නැහැ. එයා මේ ලෝකෙ තුල ඉන්න වා සාමාන්‍ය විදිහට ඉන්නවා.සමාජය තුල ඉන්න වා. නමුත් ඇතුලතින් මහා පරිනාමයක් සිද්ධ වෙන වා එයා තුල. ඒ පරිනාමය ආර්‍ය පරිනාමයක් ……

Monday, June 20, 2016

තමන්ට වැරදුණත්, අනුන් ගේ වැරැද්දෙනුත් 

දෙකෙන් ම සසරට යන්නේ අපයි
ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි
කාමයන් ගෙන් එතෙර වීම නිසා හටගත්ත ප්‍රමෝදයෙන් පටන්ගන්න සමාධියට කියනවා "විවිචෙචව කාමෙහි විවිචෙචව අකුසලෙහි - කාමයන් ගෙන් වෙන් වීම, අකුසලයන් ගෙන් වෙන් වීම නිසා හටගත්ත විවේකයෙන් උපන්න ප්‍රීතිය හා සැපය මුල් කරගත්ත සමාධියක්‌ ය" කියලා. ඒ සමාධිය හටගත්තහ ම මේ සිතේ තාවකාලිකව ඇති වෙච්ච සතුටු ගතියක්‌ ගැන නො වෙයි මේ ධ්‍යානය කියන්නේ. මේ කයෙන් ම සැප විඳිනවා. අද අපි ධ්‍යාන දකින්නේ අවස්‌ථාවට හිතේ විතක්‌කයක්‌ තියෙයි, විචාරයක්‌ තියෙයි, ප්‍රීතියක්‌ තියෙයි, සුඛයක්‌ තියෙයි කියලා නේ. නැහැ. එහෙම තැනකින් නො වෙයි. ඒ ධාHdන අංග යෙදෙන්න පුළුවන්, නමුත් ධ්‍යානය කියන්නේ වෙන එකක්‌.
මේ ධ්‍යානය වෙන මුකුත් නො වෙයි. "මේ ඉදිරියට පෙනෙන අරමුණ අරභයා කාමසහගත සංයෝජනය නැතිකම නිසා ම, නීවරණ නැතිකම නිසා ම" - විවිචෙචව කාමෙහි විවිෙච්චව අකුසලෙහි - වත්ථුකාම, ක්‌ලේශකාම - ක්‌ලේශකාමයට තමයි නීවරණ කියලා කිව්වේ. වත්ථුකාම කියලා කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්‌ඨබ්බ ධර්මයන්ට එල්ල වී පවතින මනස. වත්ථුකාම, ක්‌ලේශකාම කියන දෙකෙන් මිදීමට තමයි විවිචෙචව කාමෙහි විවිෙච්චව අකුසලෙහි - කාමයන් ගෙන් වෙන් ව, අකුසලයන් ගෙන් වෙන් ව- කාමයයි, නීවරණයයි දෙක නැතිකම නිසා හටගත්ත ප්‍රමෝදයටයි ප්‍රීතිය. ප්‍රමෝදය මේ ප්‍රීතිය. ඒ ප්‍රීතිය නිසයි සැපය.
එතකොට මේ සාමාධිය විතක්‌ක සහිතයි, විචාර සහිතයි, හැබැයි ප්‍රීතියකින්, සැපයකින්, යුක්‌ත එකක්‌ බවකුත් තියෙයි. අන්න ඒ සමාධියට පෙනෙනවා මේ පඤ්චඋපාදනස්‌කන්ධය කියන තැන සත්ත්ව - පුද්ගල නො වූ ධර්මතාවක්‌ තියෙන්නේ, හේතු ප්‍රත්‍යයයි. විඤ්ඤාණය නිසයි නාමරූප, නාමරූප නිසයි සළායතන, සළායතන නිසයි ඵස්‌සය, ඵස්‌සය නිසයි වේදනාව. තව පැත්තකින් ගත්තොත්, විඤ්ඤාණය නිසයි මේ සිතේ තියන නාම ධර්මයි, රූපයි පවතින්නේ. ඒ නාම රූප දෙක නිසයි සිත පවතින්නේ. සිතිවිලිවලට රූපයයි, සිතයි උපකාරයි, සිතට නාමරූප දෙක උපකාරයි. රූපයට සිතයි සිතිවිලියි උපකාරයි. ඔවුනොවුන් ඔවුනොවුන්ට උපකාර කරගත්ත පැවැත්මක්‌ තියෙන්නේ.
ලිප් ගල් තුනක්‌ උඩ මුට්‌ටියක්‌ තියෙනකොට මුට්‌ටිය උඩ තියාගෙන ඉන්නේ එක ගලකින් නො වෙයි. ගල් දෙකකිනුත් නො වෙයි. මේ ගල අනෙක්‌ ගලට උපකාර වෙලා, අනෙක්‌ ගල අනෙක්‌ ගලට උපකාර වෙලා, අනෙක්‌ ගල අනෙක්‌ ගලට උපකාර වෙලා තුන්දෙනා සමගි ව බෙදාගෙන තමයි මුට්‌ටිය උඩ තියලා තියෙන්නේ. මුට්‌ටිය උඩ තියෙන එක මේ ගල් තුනේ ක්‍රියාවට පෙර වත් පසු වත් නැහැ. එක ගලක්‌ අහකට ගත්තොත් මුට්‌ටිය වැටෙයි. ගල් දෙකක්‌ අහකට ගත්තොත් මුට්‌ටිය වැටෙයි. ගල් තුන ම අහකට ගත්තොත් මුට්‌ටිය වැටෙයි. මේ තුන් දෙනා මුට්‌ටිය උඩ තියාගෙන ඉන්න හොඳ සමගි බවක්‌ කරලා තියෙන්නේ. එක එක්‌කෙනා පැත්තට ඇද්දොත් ඇද වෙනවා මුට්‌ටිය. ඔවුනොවුන්ට උපකාර වෙලා. අඤ්ඤමඤ්ඤයි කියලා තියෙන්නේ. මේ ගල උපකාරයි මුට්‌ටිය උඩ තියාගෙන ඉන්න, මේ දෙන්නත් උදවු කරලා තියෙන්නේ. ඒ දෙන්නා උපකාර කරලා තියෙන්නේ එකක්‌ එකකට, දෙකක්‌ එකකට, මේ විදිහට ඔවුනොවුන්ට උපකාර කරගෙන තමයි මේ මුට්‌ටිය උඩ තියාගෙන ඉන්නේ.
ඒ වගේ සිත සිතිවිලිවලට, සිතිවිලි සිතට, ඒ දෙන්නා රූපයට, රූපය ඒ දෙන්නාට උපකාර කරලා තමයි මේ පවත්වාගෙන ඉන්නේ, මෙතන මෙහෙම පැවැත්මක්‌ තියෙන්නේ. ඔය ටික පෙනෙනවා. එහෙනම් මේ ආහාර ප්‍රත්‍යයෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා කියන ටික ඔවුනොවුන්ට උපකාරීව වැටෙන්නට නො දී මුට්‌ටිය උඩ තියලා වගේ මේ ජීවිතය පවත්වලා තියෙනවා. මැරෙන්නේ නැහැ. ජීවත් වෙනවා.
මේ මුට්‌ටිය උඩක තියෙන්නේ මුට්‌ටියේ බලයකින් නෙවෙයි කියන එක මතක තියාගන්න. මේ තුන්දෙනා ගේ සමගියෙන්. මේ මැරෙන්නේ නැහැ කිsයන ටික තියෙන්නේ "තමන්" මැරෙන්නේ නැතිකම හින්දා නො වෙයි. "තමන් ගේ" ජීවිතයේ හැකියාවක්‌ හින්දා නො වෙයි - විඤ්Æණය නාමරූප දෙකටත්, නාමරූප දෙක විඤ්Æණයටත්, නැත්නම් චිත්ත චෛතසික රූපයටත්, රූපය චිත්ත චෛතසික ටිකටත් කියලා ඒ තුන් දෙනා ගේ සමගි බව නිසයි. ඔය තුන්දෙනා ඔවුනොවුන්ට කරන උපකාරය, උපස්‌ථානය නිසයි මේ ජිවිතීන්ද්‍රිය පවතින්නේ. ජීවත් වෙනවා කියන්න තියෙන සාක්‌ෂිය ජීවත් වෙන එක. ඔය ටික පෙනෙයි.
එහෙම වුණහම මේ තුන් දෙනා මෙතැන සමගිය පවත්වනවා කියන ටික වෙනවා. මෙතැන හැදෙන්න හේතුව මොකක්‌ ද? පෙරත් මේ වගේ ම සමගි බවින් පවත්වද්දී ඒ සිද්ධිය නො දැන කෙනෙක්‌ ජීවත් වෙනවා කියන වැරැදි අදහස මත ඇති කරගත්ත ක්‌ලේශය හේතු වුණා මේ වගේ ධර්මතා ටිකක්‌ හදන්න කියන ටික පෙනෙයි මේ පින්වතුන්ට.
අදත් මේ ධර්ම තුන ඔවුනොවුන්ට උපකාරීවයි මේ ජීවිතය කියන එක පවත්වලා තියෙන්නේ, මුට්‌ටියක්‌ උඩ තියාගෙන වගේ. අද මේ ටික නො දැක්‌කොත්, අද ඇති කරගත් "පුද්ගලයෙක්‌" ජීවත් වෙනවා, "මම" ජීවත් වෙනවා., "මම" මේ වැඩ කරනවා කියන මේ වැරැද්ද හේතුවෙන් කෙළෙස්‌ ඇති කරලා, නැවතත් මේ මුට්‌ටියක්‌ උඩ තියාගෙන ඉන්නවා වගේ මේ හේතු තුන පවත්වන්නේ කියල දකිනවා කියන එක වෙයි. අන්න ඒ දැකීම කියන ඒ දැකීමට කියනවා "දිට්‌ඨිසම්පන්නයි" කියලා.
එදාට බුදුහාමුදුරුවෝ කිව්වාට නො වෙයි, කවුරුවත් කිව්වාට නො වෙයි, මේ සත්ත්වයෙක්‌ පුද්ගලයෙක්‌ ඉන්නවා කියලා කියන්නේ නැහැ. සක්‌කායදිට්‌ඨිය කියන එක නැත්තේ, විචිකිච්ඡාව කියන එක නැත්තේ බුදුහාමුදුරුවෝ කෙරෙහි විශ්වාසයකින් නො වෙයි. බුදුහාමුදුරුවෝ කිව්වා නම් ඇත්ත වෙන්න ඇති කියන තැනකිsන් නො වෙයි. ඇදහීමක්‌ නො වෙයි තියෙන්නේ. තමන් ම දකිනවා ප්‍රත්‍යක්‌ෂ ඥනයෙන්.
ඊට පස්‌සේ එතැන ඉඳලා එයාට ඒ දර්ශනය පුන පුනා දැනිලා තියෙනවා. ඒකේ තවත් ප්‍රභේද තියෙයි.
සෝවාන් වෙනකොට විතරක්‌ මේ ඕදාරික නාමරූප දෙකට පටිච්චසමුප්පාද ධර්මතාව දක්‌නවා "පෙර ජීවිතයෙන්".
ඊට පස්‌සේ සකදාගාමී, අනාගාමි වෙද්දී "අරමුණක්‌ අරමුණක්‌ ගානේ" නාමරූප දෙකක්‌ තියෙනවා කියන තැනකින්a පඤ්චඋපාදානස්‌කන්ධ දුක්‌ දකිනවා. පටිච්චසමුප්පාදය දකිනවා ඒ අරමුණට, ඊට ඉස්‌සෙල්ලා අරමුණත් පෙර අවිද්‍යා සංඛාරයි කියලා "ක්‌ෂණිකව ජීවිතයට" දකිනවා. ඒ තරම් ඕනේ නැහැ. මේ පැවැත්ම න්‍යාය එක මයි. එතකොට ඒ ටිකට නුවණ මේ පින්වතුන්ට පහළ වෙයි අපහසුවකින් තොර ව.
දැනට මෙන්න මේ ධර්මතා ටික තේරුම් කරගන්න. නිවන් දකින්න කියලා මොනවා හරි දෙයක්‌ කරන්න එපා. නිවන් දකින්න මොකක්‌ ද කළ යුත්තේ කියන ටික ඉස්‌සෙල්ලා බලන්න කියන එක මතක්‌ කරනවා. මොකද මෙහෙම පැවැත්මක්‌ තියෙන නිසා.
පින්වතුන් පාර මැද්දේ ගිහිල්ලා වාහනයකට හැප්පුණොත් මැරෙන්නේ තමන් මයි. මේ පින්වතුන් බොහෝම බයෙන් පාරේ අයිනට ම වෙලා ගියත්, වාහනයේ කෙනා ගේ
වැරැද්දෙන් ඇවිල්ලා ඇෙ`ග් හැප්පුණොත්, අනුන් ගේ වැරැද්දෙන් හැප්පුණත් මැරෙන්නේ තමන් නිසා අපට වෙනවා, අපි නිවැරැදි වුණත් අනෙක්‌ කෙනාට වරදියි ද කියලා බලාගෙන ඉන්න.
ඒ වගේ නිවන් දකින්න යන ගමන් මාර්ගයේ දී තමන්ට හම්බවෙන දෙය එහෙම ම ගන්නේ නැති ව මේක මෙහෙම වෙන්න පුළුවන් ද කියන එක ටිකක්‌ විමසිලිමත්ව බලන එක හොඳයි. තමන්ට වැරදුණත්, අනුන් ගේ වැරැද්දෙනුත් දෙකෙන් ම සසරට යන්නේ අපි නිසා. මේ පින්වතුන්ට සමාවක්‌ නැහැ. මට බණ කියලා දුන්න කෙනා කියා දුන්න ක්‍රමය වැරුදුණා නේ කියන තැනකින් තමන්ට වැරැදුණත්, අනිත් අය ගේ වැරැද්දෙනුත් සසරට යන්නේ මේ පින්වතුන් නිසා. මම කියලා දෙන දෙය වැරදුණා කියලා මේ පින්වතුන්ට සමාවක්‌ නැහැ, අනේ අපි දන්නේ නැහැ. අපට කියලා දුන්න දෙය නේ අපි කළේ කියන තැනකින් අපට සමාවක්‌ නැති නිසා සුදුසුයි ටිකක්‌ විමර්ශනය කිරීම, සුදුසුයි ටිකක්‌ සිතීම.

Tuesday, May 24, 2016

ඉතින් මේ අම්බලමෙන් අම්බලමට යන ගමන නතර කර ගන්න උත්සාහවත් වෙන්න. හොඳට තමන්ගේ සිතින්ම තර්ක විතර්ක කරලා බලන්න. මේ දුව, පුතා ගෙවල් දොරවල් කියල හදලා හිස් අතින්ම ගිහින් ආයෙත් එහා පැත්තේ හදන්න පටන් ගන්නවා. මේක මසැසට නොපෙනුනාට ධර්මතාවය ඇත්තයි. ඒ නිසා ඒ ගැනත් සිහිකරලා හැමෝම මේ දහම ජීවිතයට ගන්න උත්සාහවත් වෙන්න....
ලෙඩ්ඩු ඉස්පිරිතාලෙ යන්නේ, හොද අය නෙවෙයි. ජිවිතයේ ප්‍රශ්න ගැටලු කරදර තියෙන නිසාමයි බණ දහමක් අවශ්‍ය අපට. ඔිවා ඉවර උනාට පස්සේ බණ දහම් අවශ්‍ය නැහැ අපට.බණ දහම් අවශ්‍ය ජිවිතයේ දුක අයින් කරගන්න. අපි හරියට හිතනවා වගේ රෝග සුව උනාම ඉස්පිරිතාලෙට යනවා වගෙයි.. ලෙඩේ තියෙන වෙලාවට නේද ඉස්පිරිතාලෙට යන්න ඔිනෙ. එහෙනම් ජිවිතයට දුක එන නිසයි මේ තරම් ප්‍රශ්න මේ තරම් ගැටලු ජිවිතයට ගලාගෙන එනවා. ඒ නිසයි ජිවිතයට දහමක් හොයන්න ඔිනෙ. ඒ නිසයි දැහැමි උත්තරයක් ඔිනෙ. ඒ නිසයි දුකින් මිදීමේ මාවතකට යන්න උත්සාහ වෙන්න ඔිනෙ..
2016-03-25 මාන්කඩවල දේශනාව ඇසුරෙන්..
කායානුපස්සනාව: සිහිය ටැඹක් කරගන්න!
පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි
මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් ලියැවෙන ලිපි පෙළක තවත් කොටසකි. සූත්‍ර වර්ණනාවෙහි දැක්වෙන කරුණු විග්‍රහ කරමින්, සතිපට්ඨාන භාවනාව වැඩීමට මෙහිදී පසුබිම සකස් කරනු ලැබේ.
‘කය පිරිසිදු වීමෙන් සත්ත්වයා පිරිසිදු වෙන්නේ නෑ’ කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කළා; හිත පිරිසිදු වීමෙන්මයි සත්ත්වයා පිරිසිදු වෙන්නේ’.
සෝකපරිද්දවානං සමතික්කමාය’ සෝකය, පරිදේවය (සෝකය කියන්නේ හිතේ සෝක බවක්, සෝක කරන බවක්, පරිදේවය කියලා කියන්නේ නම කිය-කියා අඬන බවක්, ගුණ කිය-කියා අඬන බවක්. පපුවේ අත් දෙක ගහ-ගහා අඬන බවක් තියෙනවා නං ඒකට කියනවා පරිදේව) ඉක්මවීම සඳහාත්, දුක්ඛදෝමනස්සානං අතංගමාය: දුක්, දොම්නස් (දුක්ඛ කියලා කියන්නේ කයේ දුක. බඩගින්න, පිපාසයේ ඉඳලා කයට ඇති වන දුක්වලට කියනවා දුක්ඛ කියලා. සිතේ ඇති වන දුක්වලට කියනවා දෝමනස්ස කියලා) නැති කිරීම සඳහාත්, ඤායස්ස අධිගමාය: මාර්ගඵල ලැබීම සඳහාත්, නිබ්බානස්ස සච්ඡිකිරියාය: නිවන් සාක්ෂාත් කිරීම සඳහාත්, යදිදං චත්තාරෝ සතිපට්ඨානාති: මේ සතර සතිපට්ඨානයයි.
ඉහත කොටසට කියනවා මහා සතිපට්ඨාන සූත්‍රයේ සූත්‍ර වර්ණාව කියලා.
ඇයි බුදු රජාණන් වහන්සේ මේ ටික ඉස්සෙල්ලාම මතක් කළේ? යම් කිසි කෙනෙක්, වෙළෙන්දෙක්, රෙදි විකුණන කොට, ‘කම්බිලි, කම්බිලි’ කියලා වික්කොත්, හණ රෙදිවලින් හදපු කම්බිලිත් තියෙනවා. කෙස්වලින් හදපු කම්බිලිත් තියෙනවා. ඉතින් වුවමනාවක් තියෙන කෙනා වැඩි වුවමනාවක් කරන්නේ නැහැ ගන්න. බලන්න වුමනාවක් කරන්නෙත් නැහැ. කලාතුරකින් කෙනෙක් තමයි ගන්නේ. මොකද: කම්බිලි ජාති ගොඩක් තියෙන නිසා.
ඒත් යම්කිසි කෙනෙක් වටිනාකම කියලා කිව්වොත්, ‘කසී රටේ හදපු රන් කම්බිලි ගන්නවදෝ?’ කියලා වටිනාකමින් කිව්වොත් නම් සල්ලි තියෙන අය ගන්නවා; ඉතින් සල්ලි නැත් නම්, ‘කසී රටේ හදපු රන් කම්බිලි’ කියන්නේ මොනවද කියලා බලන්න වත් එනවා.
ඒ වාගේ මේ සූත්‍ර දේශනා කරන්න කලින් බුදු රජාණන් වහන්සේ පිරිසිදු බව ඇති කරගන්නත් සෝක පරිදේව ඉක්මවන්නත් දුක් දොම්නස් නැති කරන්නත් මාර්ග ඵල ලබන්නත් නිවන් අවබෝධ කරගන්නත් තියෙන්නේ කියලා මේකේ වටිනාකමව කිව්වහම, දැන් දන්න කෙනා දකින කෙනා, බොහොම වුවමනාවෙන් මේක වඩනවා. අනෙක් කෙනා බලන්නවත් එනවා, ‘මොකක්ද මේ?’ කියලා. අන්න ඒ සඳහායි මේ සූත්‍ර වර්ණනාව තථාගතයන් වහන්සේ මුලින්ම ඉදිරිපත් කරන්නේ.
මේ සූත්‍රය බුදු රජාණන් වහන්සේ දේශනා කළේ කුරුරටවාසී මනුෂ්‍යයන්ටයි. ඒ අය ස්වභාවයෙන්ම ඥාන සම්පත් ඇති, බුද්ධිමත් සත්ත්වයෝය කියලා කියනවා.
ඉතින් මෙතැනදී මේ සූත්‍ර වර්ණනාව තුළින්, දන්න කෙනාට අප්‍රමාදීව මේකෙන් කරන්න ඕන කියන ධර්මතාවට මනස යොමු කරවනවා; අනෙක් කෙනාට දුක් දොම්නස් නැති කරන්න. එහෙම නම් කොහොමද තියෙන්නේ කියලා බලන්න එන්න උනන්දුව ඇති කරවනවා. එහෙම බලන්න ආවහම ඒ එන කෙනාට ඉතුරු ටික වෙන්න ඕනේ මෙතැනින්ම විතරක් නොවෙයි. මේ උපායත් මේ ටික පෙන්නලා මෙතැනට ගෙන්නාගන්නයි. ආවහම ඉතුරුටික දීලා .මේ ටික දෙන්න ඕනේ.
ඉතින් මෙන්න මේ ආනිසංස දැකලා බොහෝ දෙනකුට මේකෙන් වන උපකාරය දැකලා, කරුණාවෙන් ම තමයි භාග්‍යවතුන් වහන්සේ සූත්‍ර වර්ණාව ඉස්සෙල්ලා දේශනා කළේ.
ඉහත ආනිසංස ලබන්නට වැඩිය යුතු පිළිවෙත ඊළඟට බුදු රජාණන් වහන්සේ දේශනා කළා. යදිදං චත්තාරෝ සතිපට්ඨානා: මේ සතර සතිපට්ඨානයයි. මෙහි හතරක් ම බෙදුවේ ඇයි? මම මුලින්ම මතක් කළා, හතර පොළක ඇති වන ආත්ම දෘෂ්ටිය දුරු කරන්නයි. ඒකෙ දී මොකක්ද හතර?
1. ඉධ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං;
මහණෙනි, මෙහි මහණතෙම කෙලෙස් තවන වැර ඇතුව, මනා නුවණ ඇතුව, මනා නුවණින් යුක්ත වූ සිහියකින් දැඩි ලෝභය හා දොම්නස දුරු කරමින් ලෝභ, ද්වේෂ දෙක ඇති නොවන විදියට කයෙහි කය අනුව බලමින් වාසය කරනවා.
2. වේදනාසු වේදනානුපස්සි විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්ස.
3. චිත්තේ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්ස.
4. ධම්මේසු ධම්මානුපස්සි විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්ස.
කෙලෙස් තවන වැර ඇතුව, මනා සිහි නුවණින් යුක්ත ව ලෝභ, ද්වේෂ දෙක ඇති නොවන විදියට හික්මෙන්න කාය, වේදනා, චිත්ත, ධම්ම කියන ධර්මතා හතරක් තියෙනවා.
ආතාපි කියලා කිව්වේ වීර්යයට නමක්.
සම්පජානෝ කියල කියන්නේ නුවණ.
සතිමා කියලා කිව්වේ සිහිය.
විනෙය්‍ය ලෝකේ කියලා කිව්වේ ලෝකය, නැත් නම් ජීවිතය පිළිබඳ ඇල්ම දුරු කොට කියන අදහසයි.
විනෙය්‍ය කියන කොට විනය කොටස් දෙකක් තියෙනවා (මේ කාරණා ඔක්කෝම
අපි දැනගන්න ඕන). සංවර විනය, ප්‍රහාණ විනය කියලා.
1. ‘සංවර විනය’- සීල සංවරය, සති සංවරය. ඤාණ සංවරය, ඛන්ති සංවරය, විරිය සංවරය කියලා පස් ආකාරයකට බෙදනවා.
i. සීල සංවරය: ප්‍රාතිමොක්ඛ සංවරයෙන් සංවරය කියලා පෙන්නන තැනදී සීල සංවරය ගත යුතුයි. ගිහි පින්වතුන්ගේ පන්සිල්, උපෝසථ අෂ්ටාංග සිල් ස්වාමීන් වහන්සේලාගේ සාමණෙර සිල්, උපසම්පදා සිල් වගේ ටික සීල සංවරය කියන තැනට අයිතියි. ඒකත් විනයයි. සීල සංවරය අයිති වන්නේත් විනයටයි.
ii. සති සංවරය: චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හෝති. නානුබ්‍යඤ්ජනග්ගාහී යත්ථාධිකරණමේනං චක්ඛු ඉන්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං තත්ථ සංවරාය පටිපජ්ජති රක්ඛති චක්ඛු ඉන්ද්‍රියං සංවරං ආපජ්ජති කියලා පෙන්නන තැනදී සති සංවරය. ඒ කියන්නේ ඇසින් රූපයක් දැක එහි නිමිති වශයෙන් අනුව්‍යඤ්ජන වශයෙන් ගන්නේ නැහැ. චක්ෂුරාදි ඉන්ද්‍රිය අසංවර තැනැත්තාගේ සිතට යම් ලෝහ ද්වේෂදි පාපක අකුසල ධර්ම පැමිණේ ද එහි සංවර තැනැත්තාට එබඳු පාපී වූ අකුසල දහම් හටගන්නේ නැහැ.
iii. ඤාණ සංවරය: ඊට පස්සේ ‘යානි සෝතානි ලෝකස්මිං සති තේසං නිවාරයේ, සෝතානං සංවරං බ්‍රෑමි පඤ්ඤායතේ පීථියරේ කියලා මේ ලෝකයේ යම් තාක් කෙලෙස් නදී තියෙනවා නම්, ගංගාවල් තියෙනවා නම්, සිහියෙන් මේක වළක්වලා, ප්‍රඥාවෙන් මේක සිඳලා දානවා කියලා පෙන්වනවා. මෙන්න මේ තැන දී ඤාණ සංවරය කියනවා.
iv. ඛන්ති සංවරය: ඊට පස්සේ, ඛමෝ හෝති සීතස්ස, ඛමෝ හෝති උණ්හස්ස, කියලා, සීත ඉවසන්න ඕන, උෂ්ණය ඉවසන්න ඕන, මැසි මදුරු, අවුසුළං ඉවසන්න ඕනෑ බඩගින්න සාපිපාසාදිය ඉවසන්න ඕන. මෙන්න මේක ඛන්ති සංවරය: ඉවසීමෙන් සංවර වෙනවා.
v. විරිය සංවරය: විරිය සංවරය කියලා කියනවා උප්පන්නං කාමවිතක්කං නාධිවාසේති පජහති විනෝදේති ඛ්‍යන්ති කරෝති. අනභාවං ගමේති, කාම විතර්ක ව්‍යාපාද විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, උපන් උපන් පාපක අකුසල ධර්මයෝ නැති කරන්න වීර්ය කරයි නම්, මෙන්න මේ පාපක අකුසල ධර්මයන්ගෙන් සංවර වෙන්න තියෙන වීර්යයි.
මේ විදියට සංවර විනය පස් ආකාරයයි. ඉහත දැක්වූ ධර්මතා ටිකේ තමයි අප හැසිරිය යුතු වන්නේ.
‘පහාණ විනය’ කියන-එක තදංග ප්‍රහාණ, වික්ඛම්භන ප්‍රහාණ, සමුච්ඡේද ප්‍රහාණ, පටිප්පස්සද්ධි ප්‍රාහාණ, නිස්සරණ ප්‍රහාණ කියලා පහකට බෙදනවා.
i. තදංග ප්‍රහාණ: තදංග ප්‍රහාණය කියන්නේ මේ ධර්මතා එකින් එකට පටිබද්ධයි. රාගාදි අරමුණක් දැන් ඇති වුණොත් ඒ මොහොතේ ම අශුභ වශයෙන් බලන කොට තදංග වශයෙන් රාගය අත්හැරෙනවා. ද්වේෂයක් ඇති වුණොත් ඒ වෙලාවේ දී මෛත්‍රී සිත මෙනෙහි කරනවා. තදංග වශයෙන්, ඒ මොහොතට යට යනවා.
ii. වික්ඛම්භන ප්‍රහාණ: ඉහත දැක්වූ විදියට තදංග වශයෙන් නැති කරන කොට වික්ඛම්භන කියන මට්ටමට පත් වෙනවා. වික්ඛම්භන කියලා කියන්නේ කල්ප ගණනකට කෙලෙස් නැගිිටින්නේ නැති තත්ත්වයකට පත් වෙනවා. සමහර විට උත්කෘෂ්ට (නේවසඤ්ඤානාසඤ්ඤාා) වශයෙන් වැඩුවාම මහා කල්ප අසූහාරදාහක් යන කල් කෙලෙස් ඇති වෙන්නේ නැහැ.
iii. සමුච්ඡේද ප්‍රහාණ: වික්ඛම්භන තත්ත්වය නැවත නැවතත් කරද්දී නුවණ හා එකතු වෙලා සමුච්ඡේද වශයෙන් කෙලෙස් ඉතුරු නැතුවම නැති කරනවා. ඒක කෙරන්නේ මාර්ගඥානයෙනුයි.
iv. පටිප්පස්සද්ධි ප්‍රහාණ: සමුච්ඡේද වශයෙන් කෙලෙස නැති කිරීම හේතු වෙනවා පටිප්පස්සද්ධි - කෙලෙස් සංසිඳෙනවා කියන තැනට. ඒ කියන්නේ මාර්ගයට අනතුරුව ලැබෙන ඵලයෙ’මට්ටමයි.
v. නිස්සරණ ප්‍රහාණ: නිස්සරණ ප්‍රහාණය කියන්නේ නිවනයි. සියලු කෙලෙසුන්ගෙන් ඉවත් වීම, මිදීම, නැති කිරීම, වෙන් වීම, නිස්සරණයයි.
ඒ නිසා ලෝභ දෝෂ දෙකේ හික්මෙන්න කියන කොටත් ඔන්න ඔය ටික තේරුම් කරගත යුතුයි. ඔන්න ඔය ටික තමන් සන්තකයේ තියාගෙන මේ විනය මේ තැන දක්වා වඩන්න ඕන, වැඩෙන්න ඕන කියන ටික තේරුම් අරගෙන මේ සතිපට්ඨාන සූත්‍රය අපි සාකච්ඡා කරමු.
එතකොට සතිපට්ඨානයේදී – (සතිපට්ඨාන කියන්නේ ඇයි? සතියා පට්ඨානං සතිපට්ඨානා, සිහියේ පිහිටුවීම සතිපට්ඨානයයි) මේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියලා කියන්නේ සිහිය පිහිටුවන්න තියන ධර්මතා හතරක්. මේ හතර තැන්හි තමයි හැම වෙලාවෙම අපේ සිහිය පිහිටුවන්න තියෙන්නේ. ඒ හතර තැන්හි සිහිය පිහිටුවන්න ඕන කොහොමද? ආතාපී සම්පජානෝ සතිමා. කෙලෙස් තවන වැර ඇතුව, මනා නුවණින් යුක්ත වූ සිහියක් තියෙන්න ඕන. ලෝභ, දෝෂ දෙක හික්මෙන විදියේ සිහියක් තියෙන්න ඕන. එතකොට මෙතැන දී මේ සතිපට්ඨානය කියන-එක වඩන්න පුළුවන් එකක්. සතිපට්ඨානය, වඩන කොට වැඩෙන්න ඕන එකක්.
මම පොඩි උපමාවක් මතක් කරන්නම්. සංයුක්ත නිකායේ තියෙනවා ඡප්පාණක කියලා සූත්‍රයක්. මම කෙටියෙන් මතක් කරන්නම්: මේ සූත්‍රයේ තියෙනවා බුදු රජාණන් වහන්සේ දේශනා කරලා සත්තු හය දෙනෙක් ගැන. නරියා, බල්ලා, කිඹුලා, කපුටා, නයා, වඳුරා වශයෙන්. ලණු කෑලි හයක් අරගෙන ඒ සත්තු හයදෙනාගේ නැටි හයේ බඳිනවා. ඒ කියන්නේ නරියෙක්ගේ වලිගයේ ලණු කෑල්ලක් බඳිනවා. බල්ලෙක්ගේ වලිගයෙත් ලණු කෑල්ලක් පටලවනවා. කිඹුලෙක්ගේ නැට්ටෙත් ලණු කෑල්ලක් පටලවනවා. කපුටෙක්ගේ නැට්ටෙත් ලණුවක් පටලවනවා. නයාගේ වලිගයෙත්
ලණුවක් පටලවනවා. වඳුරාගේ වලිගයෙත් ලණුවක් පටලවනවා. මේ සත්තු හයදෙනාගේ නැටි හයේ ලණු කෑලි හයක් බැඳලා ලණු කෑලි හයම එකට එකතු කරලා ගැටයක් ගහලා අතහරිනවා.
නානා ගති, නානා අදහස් ඇති සත්තු හය දෙනෙක් නිසා මේ හය දෙනා හය පැත්තට අදිනවා නේ. අදින කොට ලොකු කැලඹීමක් හටගන්නවා. අපි කියමු නරියා අදිනවා සොහොනට යන්න. බල්ලා අදිනවා ගමට යන්න. කිඹුලා අදිනවා වතුරට යන්න. කපුටා හදනවා අහසට පියාඹන්න. නයා හදනවා තුඹසට යන්න. වඳුරා හදනවා ගහට යන්න. මේ වාගේ එහාට-මෙහාට අදිනවා. ඔහොම අදිමින් ඉඳලා එක්කෙනෙක් බලවත් වුණොත් අනික් ඔක්කොම ටික ඇදගෙන ඒ පැත්තටම යනවා. ඇයි? දැන් ඔක්කෝගෙම නැටි ටික බැඳලා ඉතුරු කෙළවරවල් ටික එකට ගැටගහලා නේ තියෙන්නේ.
ඒ වාගේ, බුදු රජාණන් වහන්සේ මේක උපමා කරනවා සතිපට්ඨානය නොවඩන ලෝකයාගේ මනසට. නානා ගති ඇති, නානා අදහස් ඇති සත්තු හයදෙනා වගේ තමයි ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස. එතකොට දැන් ඒවා ඔක්කොම නැටි ටික එකට ගැටගහලා වගේ, අපි මේ ආයතන ටික එකට ගැටගහලා තියෙන්නේ. පේන දේ අහන්න පුළුවන්; ඇහෙන දේ පේනවා; පේන දේ ගඳ-සුවඳ බලන්න පුළුවන්; ගඳ-සුවඳ දැනෙන එකයි මේ පේන්නේ කියලා දැන් අපි මේ ආයතන ටික ඔක්කෝම එකට ගැටගහලායි තියෙන්නේ. දැන් ඇහැ අදිනවා රූප බලන්න: කන අදිනවා සද්ද අහන්න; නාසය අදිනවා ගඳ-සුවඳ බලන්න; දැන් එහාට මෙහාට ලොකු කැලඹීමක්. මේ විදියට හිත-හිතා ඉන්නවා කියන්නේ ඔය සත්තු ටිකේ ඇදීමටයි. ඉතින් එකෙක් බලවත් වුණහම ඔක්කෝම ටික ඇදගෙන යනවා. ටීවී-එකක් එහෙම දාලා, ලස්සන නාට්‍යයක් යනවා කියන්නේ ඔන්න දැන් එක සතෙක් බලවත්. අනික් එවුන් ඔක්කෝම මතක නැහැ; ඔක්කෝම ටික ඇදගෙන එක සතෙක් යනවා වගේ. දැන් ඉතින් රූප බලනවා. අනිත් ඔක්කොම ටික ඒ අනුව පවතිනවා.
ඔන්න එතැනින් නැගිටින කොටම දැන් ලස්සන සින්දුවක් යනවා කියන්නකෝ. දැන් ඒක අහනවා. ඒ කියන්නේ දැන් ඔක්කෝම සත්තු ටික ඇදගෙන අනික් සතා යනවා. ඔන්න ඔය වගේ පෙන්නුවා ලෝකයාගේ මනස.
දෙවනුවට ආයෙත් උපමාවක් පෙන්නුවා. ඒ වගේ නානා ගති ඇති, නානා අදහස් ඇති සත්තු හයදෙනෙක් ඉන්නවා. මේ සත්තු හයදෙනාව අර වගේ අරගෙන නැටි හයේ ලණු කෑලි හයක් බඳිනවා. බැඳලා ඉතුරු කෙළවරවල් ටික ඔක්කෝම අරගෙන කණුවක හරි, ටැඹක හරි බඳිනවා. දැන් බැන්දහම වෙනදා පුරුද්දට අර සත්තු එහාට-මෙහාට අදිනවා. හොඳට බලන්න. කණුවේ බැන්දා කියලා, බැඳපු ගමන්ම හීලෑ වෙනව ද? නෑ. එහාට අදිනවා. මෙහාට අදිනවා. හැබැයි වෙනදා වගේ ඇදගෙන යන්න බැහැ. ඔහොම ඇදල, ඇදලා ඒ අයට ම එපා වෙලා, කණුව මුල ම වැතිරිලා ඉන්න දවසක් එනවා.
මේ ටික දේශනා කරලා, බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා. ‘මහණෙනි, මම සතිපට්ඨානය ටැඹකට උපමා කරමි. කණුවකට උපමා කරමි’ කියලා.
මේ සතිපට්ඨානය වඩන්න පෙර, නොයෙක් අරමුණුවල හිත ඇදගෙන ගියා; වෙනදාට ඇදගෙන යන්න පුළුවන් වුණා. ඒත් සතිපට්ඨාන භාවනාව පටන්ගත්තාට පස්සේ ඇදගෙන යන්න බැරි වෙනවා. හැබැයි සත්තු එහාට මෙහාට නො අදිනවා නොවෙයි; අදිනවා. එහෙත් ඇදගෙනම යන්න බැරි වෙන්න ඕන.
ඔන්න ඔය උපමාවත් පොඩ්ඩක් මතක තියාගන්න. මම පසුව විස්තර කරනවා.
මෙන්න මේ විදියට සිහිය කියන-එක ටැඹක් බව මතක තියාගන්න. කණුවක් බව මතක තියාගන්න. හිත බැඳගන්න ඕනේ-එකක් හැටියට මතක තියාගන්න. ඒ කියන්නේ අපි සති නිමිත්තක හිත තියාගෙන මේ සතිපට්ඨාන භාවනාව කළ යුතුයි කියලයි මම ඔය ඇත්තන්ට මතක් කරන්නේ.
#ජීවිතයට ප්‍රශ්න ගලාගෙන එන්නේ හරියට මුහුදේ රළ හමනවා වගේ එක පිට එකක්. මුහුදේ නාන්න යන කෙනෙක් රළ ගහන එක නතර වෙනකන් හිටියොත් නාන්න පුලුවන් වෙයිද, නාන කෙනා රැල්ල මැද්දට පැනලා නෑවොත් නාන්න පුලුවන්....
ඒ වගෙ ප්‍රශ්න ගැටලු ඉවර වෙලා බණක් දහමක් භාවනාවක් කරනවා කියලා හිතන කෙනා සමානයි කියනවා, මුහුදේ රළ ඉවර උනාට පස්සේ නාන්න ඉන්න මනුස්සයාට, එයාට කවදාවත් නාන්න වෙන්නෙ නැහැ වගේ බණක් දහමක් නැතුවම මෙලොවින් සමුගන්නට වෙනවා....
2016-3-25 මාන්කඩවල සිදුකරන ලද දේශනාව ඇසුරෙන්..

Friday, April 22, 2016


ලෝක ධර්මතාව හඳුනාගැනීමෙන් ලැබෙන දහම් සුවය


පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි

ධර්මය දන්න කෙනෙක්‌, දිරන දේ දිරනවා කියන තැනකින් නුවණ තියනවා. ඔහු මේ "ධර්මතාව" දකිනවා මිසක මා මහලු වෙනවා, තව කෙනෙක්‌ මහලු වෙනවා" කියලා නො වෙයි දකින්නේ. එයා ලෝකයේ ස්‌වභාවය, දහම අත්විඳිනවා. ලෙඩ වෙනවා කියන්නේ මේකට නේ, දුකයි කියන්නේ, අනිත්‍යයි කියන්නේ මේකට නේ.

කෙනෙක්‌ මැරුණා: දරුවා මැරුණා, අම්මා මැරුණා, තාත්තා මැරුණා කියන තැනින් නො වෙයි, එයාට එන්නේ. "මරණය කියන එක ධර්මතාවක්‌. අන්න ඒ ධර්මතාව මම අවබෝධ කරගත්තා නේ ද? කියන තැනින් සතුටයි එන්නේ. මේ ලෙඩ වීම, මහලු බව, මරණය, නැසෙන බව, විනාශ වන බව යන ධර්මතා ටික දහම අවබෝධ කරගත් කෙනාට හම්බවෙන්න, හම්බවෙන්න, සතුටක්‌ එනවා. ඇයි ඒ සතුටක්‌ එන්නේ? මොකක්‌ ද සතුට? "අනේ මේක මොන තරම් ඇත්තක්‌ ද?" එයා එතන "දහම් සුවයක්‌" විඳිනවා. හැම වේලාවෙ ම එයා තමන් ව දකින්නේ නැහැ. තමන්ට වෙච්ච අවාසියක්‌ දකින්නේ නැහැ. අනුන්ව දකින්නෙත් නැහැ. තමන්ට වේච්ච අලාභයකින් වත්, අනුන්ට වෙච්ච අලාභයකින් වත් එයා දුක්‌ විඳින්නේ නැහැ. තමන්, අනුන් සහ ලාභ. අලාභ යන දෙකෙන් ම එයා අත්මිදිලා. හැම වෙලාවක ම එයා ධර්මතාවක්‌ අත්විඳිනවා.

ඊට පස්‌සේ "දිට්‌ඨධම්ම සුඛ විහරණයක්‌" ( මෙලොව දී ම ධර්මයෙන් යුක්‌ත සැපයක්‌ විඳිනවා එයා. එතැන දී මට මතක්‌ කරන්න ඕන වුණේ සත්‍යය අවබෝaධ වෙච්ච මනසක සහ අවබෝධ නො වෙච්ච මනසක ඇති වෙනස.

ඒ ධර්මය අපේ ජීවිතය අපි අවබෝධ කරගන්න, ඒ කියන්නේ යට යන ගල, "උඩ පා වේ වා" කියලා ප්‍රාර්ථනා කරන මනසට, අපි කිව්වොත් "ලෝකය" කියලා, ඒ වචනය කියන්න පුළුවන් අපේ මට්‌ටමට විතරක්‌ නො වෙයි - දෙවියන්ටත් කිව හැකියි ඒක. බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන්ටත් කිව හැකියි. බ්‍රහ්මයාත් කැමැති නෑ එතනින් චුත වෙන්න. නමුත් එයා එතැනින් චුත වෙනවා. එයා එයින් දුකක්‌, දොම්නසක්‌ විඳිනවා. එයා එතැනින් පිටත් වෙන දවසක්‌ යෙදෙනවා. රූපී බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයා වත් කැමැති නෑ ඒ බ්‍රහ්ම ආත්මයෙන් අයින් වෙන්න. අපි මෙතන මැරෙන්න කැමැති නෑ, වගෙයි.

ඒ නිසා මේ තිස්‌ එක්‌ තලය ම නැත්නම්, කාම භව, රූප භව, අරූප භව කියන මේ තුන් භවය ම, නැත්නම් මේ තුන් ලෝකය ම ධර්මය නො දන්නවා කියන තැනකයි ඉන්නේ. එතකොට ධර්මය දන්නවා කියන තැනින් එන්නේ මොකක්‌ ද? කොහෙන් ද පටන්ගන්නේ? අපරියාපන්න භූමි - නැත්නම් ලෝකෝත්තර, මේ ලෝකයෙන් එතෙර වන පැත්ත. ඒ තමයි යට යන ගල, "යට යනවා" කියන තැනක ඉඳගෙන, මනස තියාගෙන සිතීම්, කීම්, කිරීම් කිරීම. ඒකේ නැහැ බලාපොරොත්තුවක්‌. මා දැනගත්තත් නැතත් ප්‍රාර්ථනා කළත් නො කළත් යට යන ගල, යට යනවා මයි. එයා දන්නවා ඒක. ඒකට විරුද්ධ ව ප්‍රාර්ථනා කළොත් දුක එනවා කියන එකත් එයා දන්නවා. ඒකට අනුව ප්‍රාර්ථනා කළහම සැප එනවා කියලත් දන්නවා. හැබැයි මේ සැපයි දුකයි දෙක ම සිද්ධිය නො වෙයි. යථාර්ථය නො වෙයි. යථාර්ථයට අනුව වැරැදියට හිතපු කෙනාට දුක එනවා කියලා දන්නවා. යථාර්ථයට අනුව නිවැරැදි ව හිතපු කෙනාට සැප එනවා කියලා දන්නවා.

එතකොට මෙන්න මේ දැක්‌මට එන්න පුළුවන්කම තියන්නේ හැම විට ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් කෙනකුට විතරයි. යට යන ගල "උඩ පා වේ වා" කියලා ප්‍රාර්ථනා කරන එක්‌කෙනා තමයි, දුක්‌ඛ-සමුදය-නිරෝධ-මාර්ග කියන චතුරාර්ය සත්‍යය අවබෝධ නො කළ කෙනා.

යට යන ගල "උඩ පා වේ වා" කියලා ප්‍රාර්ථනා නොකරන එක ම කෙනා තමයි, දුක්‌ඛ-සමුදය-නිරෝධ-මාර්ග කියන චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් කෙනා.

ඒ ඇත්තෝ යට යන ගල "යට යනවා" කියලා දන්නවා( එය උඩ පා වේ වා" කියලා ප්‍රාර්ථනා කරලා දුක්‌ වෙන්නේ නැහැ. කවුද ඒ( දුක්‌ඛ-සමුදය- නිරෝධ-මාර්ග කියන මේ හතර අවබෝධ කරගත් කෙනා.

ඔන්න ඔය සත්‍ය හතරේ අවබෝධය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ, මේ උතුම් ධර්මය අවබෝධ කර නො ගෙන අවුරුදු සීයක්‌ වුණත් හිස්‌ ජීවිතයක්‌( අවබෝධ කරගෙන එක්‌ දවසක්‌ ජීවත් වුණත් වටිනවා කියලා.

මේ ධර්මතා හතර හැම දා ම අපේ ජීවිතවල පවතින ඇත්තක්‌. ඒත් අපි දන්නේ නැහැ. ඔන්න ඔය ධර්මතා හතර අප තුළ හැම දා ම පවතින, ලෝකය තුළ හැම දා ම පවතින, එහෙත් ලෝකයට නො පෙනෙන ඇත්ත. ඔය ඇත්ත හතර පහදලා දෙන්නයි බුදුහාමුදුරුවෝ ලොව පහළ වුණේ.

මං දැන් ඒක මතක්‌ කරනවා ටිකක්‌. අවබෝධයේ පහසුව සඳහා මම හැම දේශනාවකින් ම එක්‌ පර්යායකින්, මේ එක ක්‍රමයකින් චතුරාර්ය සත්‍යය පොඩ්ඩක්‌ මතක්‌ කරනවා. ඒක අපට තේරුම් කරගන්න පහසුව සඳහා. හැබැයි මෙතැන දි අපි ටිකක්‌ දක්‌ෂ වෙන්න ඕනෙ මේ පෙන්නන්න හදන කාරණාව ගැඹුරුයි. මේ දහම, ස්‌වභාවයෙන් ම ටිකක්‌ ගැඹුරුයි, ඒකයි මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට හේතු තියන එක පුද්ගලයෙක්‌ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ සමහර විට යොදුන් ගානක්‌ පයින් වඩින්නේ. එක්‌ පුද්ගලයෙක්‌ වෙනුවෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ අනෙක්‌ අයට කරුණාව නැද්ද? එක්‌කෙනකුට විතර ද කරුණාව? නැහැ. මේක තේරුම් ගන්න හැකියාව තියෙන්න ඕන. නැත්නම් අහන පමණකින් ඔක්‌කොට ම තේරෙනවා නම් ලෝකයේ කෙළවරකින් පටන් අරගෙන අනෙක්‌ කෙළවර දක්‌වා ම දේශනා කර කර ගිය හැකියි බුදුරජාණන් වහන්සේට. මොකද, බුදුරජාණන් වහන්සේට තමන් ගේ රාහුල කුමාරයාත් අපත් අතර එහෙම වෙනසක්‌ නෑ. කව්රුත් එකයි නේ ද?

එහෙනම් මේ දහම ස්‌වභාවයෙන්ම ටිකක්‌ ගැඹුරුයි. එතකොට, ගැඹුරු දහමක්‌ වුණත් අර්ථය පෙනෙන්න අර්ථය ලිහිල් කරන්න පුළුවන් ප්‍රමාණයක්‌ තියනවා. ඕනවට වඩා අර්ථය ලිහිල් කරලා, ලිහිල් කරලා, එතනින් එහාට ලිහිල් කරන්න බැහැ. මෝඩ අපේ මනසට තේරෙන මට්‌ටමට දහමක අර්ථය ලිහිල් කරලා, අර්ථය ලිහිල් කරන්න පුළුවන් වුණොත් ඒක මෝඩ දහමක්‌ වේ වි. ඇයි? ඉතින් අපි මෝඩ නම් අපේ මට්‌ටමට තේරෙන්න අඩු කරන්න පුළුවන් නම් ඒක මෝඩ දහමක්‌ වෙලා නැද්ද? පේනවා නේද? පේනවා. එහෙනම් දහමේ අර්ථය ලිහන්න පුළුවන් එක්‌තරා සීමාවක්‌ තියනවා. එතැනට ලිහලත් නො තේරුණහම ඊට පස්‌සේ දහමේ අර්ථය ඊට වඩා ලිහන්න බැහැ. ඒක එතැනින් නතර කරන්න වෙනවා. ඒ දේ ගන්න පුළුවන් මට්‌ටමට ඔරොත්තු දෙන්න අපිව හදාගන්න වෙනවා. ඒකයි දහම දේශනා කළහම තේරුණේ නැත්නම් ඊගාවට සීලයක පිහිටල නීවරණ ධර්ම දුරුකරගන්න කියන්නේ. එතැන දී අපිව හදාගෙන මේ ටිකට ඔරොත්තු දී ගන්න වෙනවා. නැත්නම් අපි ඉන්න අපේ මෝඩ නීවරණ සහගත මට්‌ටම අඩු කරලා පෙන්නන්න බැහැ. එහෙම පෙන්නන්ඩ වුණොත්, ඒක ද අප ආපහු ඉන්න තැන ම මගේ ම දර්ශනයක්‌ වුණා මිසක විශේෂයක්‌ හම්බ වෙන්නේ නැහැ. මොකද ඒ තුළ ද එතකොට හම්බවෙන්නේ අර මෝඩ දහමක්‌ නිසා.